ලෝකයම කතා කළ හොංකොංහි ජෝෂුවා වොංට වසර 10ක සිරදඬුවමක්

හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ ප්‍රමුඛතම ක්‍රියාකාරිකයෙකු වූ ජෝෂුවා වොංට වසර 10ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

ඒ, විදේශීය බලවේග සමඟ එක්ව කටයුතු කිරීමේ චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුවයි.

හොංකොංහි ක්‍රියාත්මක ජාතික ආරක්ෂක නීතිය යටතේ මෙම දඬුවම නියම කර තිබෙනවා.

දැනටමත් වසර හයකට ආසන්න කාලයක් සිරගතව සිටින 30 හැවිරිදි වොංට, මෙම නව දඬුවමත් සමඟ තවත් වසර 10ක් සිරගතව සිටීමට සිදුවනවා.

2020 වසරේදී චීනයේ මධ්‍යම රජයේ බලපෑමට එරෙහිව හොංකොංහි පැවති දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවලින් පසුව බීජිං පාලනය විසින් ජාතික ආරක්ෂක නීතිය හඳුන්වා දෙනවා.

එම නීතිය යටතේ මේ වනවිට ක්‍රියාකාරිකයන් සහ සාමාන්‍ය හොංකොං වැසියන් සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විවේචකයන් පවසන්නේ මෙම නීතිය හරහා විරෝධතා සහ විරුද්ධ මත දැරීමේ නිදහස මර්දනය කර ඇති බවයි.

කෙසේ වෙතත්, හොංකොං බලධාරීන් පවසන්නේ නගරයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට එම නීතිය අත්‍යවශ්‍ය බවයි.

පසුගිය බ්‍රහස්පතින්දා අධිකරණයට ඉදිරිපත් කළ ජෝෂුවා වොංට එරෙහි නව චෝදනා සම්බන්ධයෙන් ඔහු පසුගිය සැප්තැම්බර් මාසයේදී වරද පිළිගෙන තිබුණා.

වොං මේ වනවිටත් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනාවකට අදාළව සිරදඬුවම් විඳිමින් සිටින අතර, ඔහු ලබන ජනවාරි මාසයේදී නිදහස් වීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, නව නඩු තීන්දුවත් සමඟ ඔහුගේ සිරදඬුවම තවත් දීර්ඝ වී තිබෙනවා.