ඉදිරි සියවස තුළ රජයේ දන්ත වෛද්‍ය සේවය හුදෙක් ප්‍රතිකාර කිරීමට පමණක් සීමා නොවී, රෝග නිවාරණය, කල්තියා රෝග හඳුනා ගැනීම සහ සැමට සමාන අවස්ථා ලබාදීම යන මූලධර්ම මත පදනම්ව ඉදිරියට යා යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
ශ්‍රී ලංකාවේ රජයේ දන්ත වෛද්‍ය සේවයට වසර සියයක් සපිරීම නිමිත්තෙන් අද (22) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති සැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.
1926 දී කොළඹ මහ රෝහලේ ඉතා සුළු පරිමාණයෙන් ඇරඹි මෙම සේවය, අද වන විට විශේෂඥ වෛද්‍යවරුන් 106 දෙනෙකු ඇතුළු දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 1,350 ක් පමණ සේවය කරන, දිවයින පුරා විහිදුණු ප්‍රතිකාර මධ්‍යස්ථාන 600 කින් සමන්විත ශක්තිමත් ජාලයක් බවට පත්ව තිබෙනවා.
1943 දී දන්ත වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීම සහ 1947 දී මෙරටදීම පුහුණුව ලැබූ පළමු දන්ත වෛද්‍යවරුන් පිරිස බිහිවීම සුවිශේෂී සන්ධිස්ථාන ලෙස සිහිපත් කළ අග්‍රාමාත්‍යවරිය, පේරාදෙණිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල දන්ත වෛද්‍ය පීඨ මගින් ලැබෙන දායකත්වය ද අගය කළා.
දන්ත ශල්‍ය වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, පාසල් දන්ත චිකිත්සකවරුන්, දන්ත රසායනාගාර තාක්ෂණවේදීන් සහ දන්ත සහායකවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ කැපවීමට ඇය සිය ප්‍රණාමය පළ කර සිටියා.
මුඛ සෞඛ්‍යය යනු දත් කැක්කුමකට ප්‍රතිකාර කිරීම හෝ දත් ගැලවීම පමණක් නොව, එය පුද්ගලයෙකුගේ පෝෂණය, කතා කිරීමේ හැකියාව, ආත්ම විශ්වාසය සහ සමස්ත ජීවන තත්ත්වයට ඍජුවම බලපාන සාධකයක් බව අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළා.
දන්ත දිරායාම අවම වීම වයස අවුරුදු 12 දරුවන් අතර 67% ක් පමණව පැවති දන්ත දිරායාමේ ප්‍රතිශතය, 2015–2016 සමීක්ෂණය වන විට 30.4% දක්වා අඩු කර ගැනීමට හැකි වීම පාසල් දන්ත සේවයේ සහ රෝග නිවාරණ වැඩසටහන්වල සාර්ථකත්වය පිළිබිඹු කරනවා.
දුම්කොළ, බුලත් විට, පුවක් සහ අහිතකර මත්පැන් භාවිතයේ ආදීනව පිළිබඳව ජනතාව වඩාත් ඵලදායී ලෙස දැනුවත් කළ යුතු බව ඇය පෙන්වා දුන්නා.
ආදායම, පදිංචි ප්‍රදේශය හෝ සමාජ තත්ත්වය මත ගුණාත්මක දන්ත සේවාවක් ලබා ගැනීමේ අයිතිය තීරණය නොවිය යුතු බවත්, ආර්ථික අපහසුතා ඇති පිරිස්, ආබාධ සහිත පුද්ගලයින්, වැඩිහිටියන් මෙන්ම ඩිජිටල් දන්ත වෛද්‍ය විද්‍යාව වැනි නව තාක්ෂණික ප්රතිලාභ සැමට සමානව හිමිවිය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කට සිටියා.










