Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මනම්පේරිගේ නඩුවෙන් දෙදෙනෙක් නිදහස්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රාජ්‍ය පාලන සමයේ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු ලෙස සම්පත් මනම්පේරි ඇතුළු පිරිසකට එරෙහිව පවරා තිබු නඩුවෙන් පළවන හා දෙවන විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (13) නියම කර තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රාජ්‍ය පාලන සමයේ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කරමින් සිටියදී තවත් පොලිස් නිලධාරීන් පිරිසක් සමග නාරාහෙන්පිට මංසන්ධිය අසලදී ද්‍රවිඩ ව්‍යාපාරිකයකු බිය ගන්වා සහල් පිරවූ ලොරියක් හා එම ව්‍යාපාරිකයා සන්තකයේ තිබූ මුදල් හා ජංගම දුරකථනය කොල්ලකෑමේ සිද්ධියට අදාලව මෙම නඩුව පවරා තිබුණා.

එම නඩුව අද (13) දින පස්වරුවේ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල හමුවේ නඩුව කැඳවා තිබුණා.

එහිදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200(1) වගත්තිය යටතේ විත්තිකරුවන් විසින් තමන්ව විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කරන ලෙස කරනු ලබන ඉල්ලීමේ නියෝගය ප්‍රකාශයට පත් කරමින් එම නඩුවේ පළමු හා දෙවන විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගය විනිසුරුවරයා විසින් නිකුත් කළා.

පළමු වන සහ දෙවන විත්තිකරුවන්ට එරෙහි චෝදනාවන් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බැවින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බව නියෝගය ලබාදෙමින් විනිසුරුවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ පළමුවන විත්තිකරු වු ඉන්දික දළදාවත්ත සහ දෙවන විත්තිකාර බන්දුල ජයසිංහ යන අය එලෙස නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

ඒ අනුව නඩුවේ සෙසු විත්තිකරුවන් වන තුන්වන විත්තිකාර සම්පත් මනම්පේරී සහ සිව්වන විත්තිකාර නිරංජන් පෙරේරා යන විත්තිකරුවන්ව නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට සාක්ෂි නැති බව විනිසුරුවරයා නිගමනය කරමින් ඔවුන්ගේ විත්තිවාචකය කැඳවීමට අද අධිකරණය තීරණය කළා.

තුන්වන සහ සිව්වන විත්තිකරුවන් වෙනුවෙන් සාක්ෂිකරුවන් කැදවීමට අපේක්‍ෂා කරන බව ඔවුන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කර තිබෙනවා.

විත්තිකරුවන් සඳහා සාක්ෂිකරුවන් ඉදිරිපත් කරන්නේ නම් සතියක් ඇතුළත අදාළ සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කළා.

2009 අගෝස්තු දොළොස් වැනිදා පොලිස් නිලධාරී ලෙස පෙනී සිටමින් නැගෙනහිර පළාතේ සිට සහල් ප්‍රවාහනය කරමින් සිටි සෙල්වදොරේ කොළවෙන්නාදන් නැමැති ව්‍යාපාරිකයා බිය ගන්වා එකී මංකොල්ලයක් සිදු කිරීම ඇතුලු චෝදනා හතක් යටතේ සම්පත් මනම්පේරි ඇතුලු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබුණා.