පසුගිය 09 වනදා උදෑසන කළුතර දකුණ පොලිස් වසමේ නාගොඩ ප්‍රදේශයේ අවන්හලක දී සිදුකළ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එම කාන්තාව අද (11) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙලෙස මියගිය කාන්තාව අවුරුදු 52ක දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වුණේ.
යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙක් විසින් සිදුකළ වෙඩි තැබීමෙන් මෙම කාන්තාවගේ සැමියා වන අවන්හලේ හිමිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා.
මේ අතර මෙම අපරාධයට අවශ්‍යකර සිටි සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකිව තිබුණා.
පෙරේදා (09) රාත්‍රී වාලච්චේන පොලිස් වසමේ නාවල් හන්දිය ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහු මෙම වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු බවයි අනාවරණය වී ඇත්තේ.
