දේශීය කිරි ගව කර්මාන්තය නංවාලීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන් දැවැන්ත පියවරක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් 2026 අයවැය ප්‍රතිපාදන යටතේ නිකවැරටිය ගොවිපළ සියලු පහසුකම්වලින් සමන්විත අභිජනන ගොවිපළක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මේ වන විට ආරම්භ කර තිබෙනවා.

අමාත්‍යාංශය මගින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ පශු සම්පත් අංශය නංවාලීම උදෙසා නව ජාතික පශු සම්පත් ප්‍රතිපත්තියක් (National Livestock Policy) ක්‍රියාවට නංවා තිබෙන අතර, ග්‍රාමීය ගොවි ජනතාව ඉලක්ක කරගනිමින් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි වැඩපිළිවෙළ මෙහෙයවීම සඳහා 2026 ජාතික අයවැයෙන් රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන් කර තිබෙනවා.

මෙම ජාතික ව්‍යාපෘතියේ මුල් අදියර යටතේ නිකවැරටිය ගොවිපළේ අක්කර 300ක භූමි ප්‍රමාණයක් අභිජනන ගොවිපළක් ලෙස සංවර්ධනය කෙරෙකනවා. තවද, මණ්ඩලයට අයත් පරිවාරක ගොවිපළ පහක් තුළ සියලු පහසුකම් සහිත ගවගාල් ඉදිවන අතර, සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු වසර පුරා කන්න 3ක් ලෙස වගා කිරීම පිණිස නවීන ජල සම්පාදන පද්ධති සහිත වගා බිම් ඇති කිරීමද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල ඉතිහාසයේ වැඩිම ඉඩම් අක්කර ප්‍රමාණයක් (අක්කර 500ක්) එකවර ජල සම්පාදනය කෙරෙන පළමු අවස්ථාව මෙය වන අතර, ඒ යටතේ ධ්‍රැවීය ජල සම්පාදන (Pivot Irrigation) ක්‍රමය යටතේ අක්කර 280ක්ද, සූර්ය ජල සම්පාදන (Solar Sprinkler) ක්‍රමය යටතේ අක්කර 100ක්ද සහ හෝස් රීල් (Hose Reel) ක්‍රමය යටතේ අක්කර 120ක්ද ලෙස සමස්ත බඩඉරිඟු වගා බිම් අක්කර 500 සඳහා මෙමගින් ජලය සපයනු ලබනවා.

සියලු යටිතල පහසුකම් සහිතව නිකවැරටිය ගොවිපළ සංවර්ධනය කිරීමේ මූලික පියවරක් ලෙස, සාහිවාල් (Sahiwal) වර්ගයේ එළගවයන් 400 දෙනෙකු ආනයනය කිරීමට අපේක්ෂිත අතර, එහි මූලික අදියර යටතේ එම ගවයන් 200 දෙනෙකු මෙරටට ගෙන ඒමට නියමිතයි.සාහිවාල් යනු නිවර්තන කලාපීය පාකිස්තානයෙන් සහ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රදේශයන්ගෙන් පැවත එන, ලෝකයේ සිටින විශිෂ්ටතම දේශීය කිරිගව විශේෂයක් බවට සඳහන් වෙනවා.

ශ්‍රී ලංකාව වැනි නිවර්තන සහ උණුසුම් කාලගුණයක් සහිත රටවල කිරි ගොවිතැන් කටයුතු සඳහා මෙම සතුන් ඉතාමත් ජනප්‍රිය මෙන්ම ශක්තිමත් ගව විශේෂයක් ලෙස සැලකෙනවා. මෙම සතුන්, ෆ්‍රීසියන් සහ ජර්සි වැනි ඉහළ මට්ටමේ යුරෝපීය ගවයන් සමඟ කෘතිම සිංචනයට ලක් කර දෙමුහුන් නව පරපුරක් බිහිකිරීමට සැලසුම් කර තිබෙනවා. අනතුරුව, එම එළදෙනුන් අපේක්ෂිත පරිවාරක ගොවිපළවල් පහ වෙත ලබාදෙන අතර, එම පරිවාරක ගොවිපළවල් හරහා දේශීය පරිසරයට මනාව ගැළපෙන, ඉහළ අභිජනන ශක්තියකින් යුතු නව එළදෙනුන් ගොවි ජනතාව වෙත ලබාදීම මණ්ඩලයේ මූලික අපේක්ෂාව වනවා.

මෙය ලාංකීය පශු සම්පත් ක්ෂේත්‍රයේ වඩාත් සැලසුම් සහගතව ක්‍රියාත්මක වන පුළුල් අභිජනන ව්‍යාපෘතියක් වන අතර, 2030 වන විට ලිංග නිර්ණය කරන ලද ගව ශුක්‍ර භාවිතයෙන් සිදු කෙරෙන කෘතිම සිංචන ප්‍රමාණය ලක්ෂයක් දක්වා ඉහළ නංවා ගැනීමටද මේ යටතේ අපේක්ෂා කෙරෙන බවටත් අමාත්‍යාංශය මගින් නිකුත්කර තිබෙන මාධ්‍ය නිවේදනයක සඳහන් වෙනවා.