Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දුම්කොළ පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලනය පිළිබඳ සම්මුති රාමුවේ (WHO Framework Convention on Tobacco Control – WHO FCTC) ලේකම් කාර්යාලයේ ප්‍රධානී ඇන්ඩෲ බ්ලැක් ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක්
අතර විශේෂ හමුවක් පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත් වුණා.

මෙම හමුවේදී, දුම්කොළ පාලනය සඳහා ශ්‍රී ලංකාව ලබා ඇති සුවිශේෂී ජයග්‍රහණ පැසසූමට ලක් කරමින් ඇන්ඩෲ බ්ලැක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත සිය ප්‍රශංසාව පළ කරනු ලැබුවා.

දුම්කොළ වසංගතයට මුහුණදීම, දුම්පානය අවම කිරීම සහ දුම්කොළ පාලන ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ කැපවීම මෙන්ම ලබා ඇති ප්‍රගතිය ද මෙහිදී විශේෂ ඇගයීමට ලක් වුණා.

දුම්කොළ භාවිතය නිසා ඇතිවන විනාශකාරී සෞඛ්‍ය, සමාජීය, පාරිසරික සහ ආර්ථික ප්‍රතිවිපාකවලින් වර්තමාන සහ අනාගත පරපුර ආරක්ෂා කිරීම සඳහා WHO FCTC ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීමට සහ ඵලදායී දුම්කොළ පාලන ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව අමාත්‍යවරයා අවධාරණය කළා.

2026 නොවැම්බර් 24 සිට 26 දක්වා කොළඹදී පැවති, දුම්කොළ පාලනය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මුති රාමුව (WHO FCTC) ක්‍රියාත්මක කිරීමේ දශක දෙකක කාලය ඇගයීමේ සහ අග්නිදිග ආසියානු කලාපයේ එහි බලපෑම වේගවත් කිරීමේ ඒකාබද්ධ WHO–WHO FCTC ලේකම් කාර්යාල තක්සේරු රැස්වීමට සමගාමීව පැවති හමුවකදී ද දුම්කොළ පාලනය සඳහා ශ්‍රී ලංකාව ලබා ඇති සුවිශේෂී ජයග්‍රහණ පැසසූමට ලක්ව තිබෙනවා.

මෙම හමූවේ දී ශ්‍රී ලංකාවේ දුම්කොළ පාලන වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් ඉටු කරන වැදගත් කාර්යභාරය ද ඇගයීමට ලක් කළ අතර, සුවිශේෂී ආයතනික මැදිහත්වීම් සහ පුළුල් දුම්කොළ පාලන උපායමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා වන දායකත්වය ද අවධාරණය කළා.

ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරන ලද දුම්කොළ පාලන ප්‍රවේශයන් ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති බවත්, අනෙකුත් රටවලට තම දුම්කොළ පාලන වැඩසටහන් ශක්තිමත් කිරීමේදී ඉගෙන ගත හැකි වටිනා ආදර්ශ සහ පූර්වාදර්ශ ලෙස ඒවා සැලකෙන බවත් ඇන්ඩෲ බ්ලැක් මෙහිදීව වැඩිදුරටත් සඳහන් කර සිටියා.

WHO FCTC ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ඇගයීමටත්, ජාත්‍යන්තර සහයෝගීතාව සහ සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්තිමය මැදිහත්වීම් හරහා ජාතික දුම්කොළ පාලන ප්‍රයත්නයන් පවත්වා ගෙන යාමේ සහ තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම සාකච්ඡා කිරීමටත් මෙම හමුව විශේෂ අවස්ථාවක් වුණා.