මෙල්බර්න් හි විහාරස්ථානයක දී බාලවයස්කාර දැරියන් හය දෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාවලට වරදකරු වීමෙන් පසු, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බෞද්ධ භික්ෂුවකට ඕස්ට්‍රේලියාවේදී වසර 13යි මාස 2ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ABC News Australia වාර්තා කරන පරිදි, මෙල්බර්න් හි ගිනිකොනදිග ප්‍රදේශයේ පිහිටි ‘ධම්ම සරණ’ විහාරස්ථානයේ ප්‍රධාන භික්ෂුව ලෙස කටයුතු කළ 71 හැවිරිදි නාඔටුන්නේ විජිත හිමියන්ටයි වික්ටෝරියා ප්‍රාන්ත අධිකරණය විසින් අද (08) මෙම දඬුවම නියම කර ඇත්තේ.
ළමුන් සම්බන්ධයෙන් ලිංගික සංසර්ගයේ යෙදීමේ චෝදනා 09ක් සහ අසභ්‍ය ක්‍රියාවන්හි යෙදීමේ චෝදනා 08ක් ඇතුළුව චෝදනා 17කට විජිත හිමියන් අධිකරණය හමුවේ වරදකරු වී තිබෙනවා.
මෙල්බර්න් හි ස්ප්‍රින්ග්වේල් සහ කීස්බරෝ ප්‍රදේශවල ක්‍රියාත්මක වූ එම විහාරස්ථානයේ දී 1994 සහ 2002 අතර කාලය තුළ මෙම අපරාධ සිදුවී ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.
විජිත හිමියන් විසින් බාලවයස්කාර දැරියන්ව නැවත නැවතත් තම නවාතැන් කාමරයට ගෙන්වාගෙන ලිංගික අතවර සිදු කර ඇති බවත්, ඇතැම් අවස්ථාවල දී එම දැරියන්ගේ දෙමාපියන් අසල කාමරවල සිටියදී පවා එම ක්‍රියාවන් සිදු කර ඇති බවත් අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.
ආගමික කටයුතුවලට සහභාගී වීම සඳහා මෙම දැරියන් තම පවුල් සමඟ විහාරස්ථානයට පැමිණ සිටියදී මෙම සිදුවීම්වලට මුහුණ දී තිබුණා.










