ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ශල්‍යකර්ම සේවා පුළුල් කරමින්, එහි පවතින දිගු රෝගී පොරොත්තු ලේඛන කඩිනමින් අවසන් කිරීම සඳහා වූ විශේෂ ත්‍රිපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට අද (25) නිල වශයෙන් අත්සන් තැබුවා.
ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදීයි.
මෙම ඓතිහාසික අවබෝධතා ගිවිසුම ආරක්‍ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය අතර අත්සන් තැබුණා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් එච්. ජී.යූ ධම්මික කුමාර යන අය විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වනවා.
ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පවතින KDU ශික්ෂණ රෝහල සතුව නවීන ශල්‍යාගාර, දියුණු වෛද්‍ය උපකරණ සහ ප්‍රමාණවත් භෞතික ධාරිතාවක් පැවතුණද, විශේෂඥ සායනික කාර්ය මණ්ඩලයේ සීමිත බව හේතුවෙන් එම සම්පත්වලින් මෙතෙක් උපරිම ප්‍රයෝජන ගැනීමට නොහැකිව ඇති බව නිරීක්‍ෂණය වී තිබුණා.
එමෙන්ම ශ්‍රී ලංකා ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ඒකකය ඉහළ විශේෂඥ දැනුමකින් සහ අතිනවීන පහසුකම්වලින් යුක්ත වුවද, පවතින අධික ඉල්ලුම හේතුවෙන් රෝගීන් විශාල ප්‍රමාණයක් දිගුකාලීන පොරොත්තු ලේඛනවල පසුවනවා .
මෙම ගැටලුවට තිරසාර විසඳුමක් ලෙස, ජාතික රෝහලේ සේවාවන්හි දිගුවක් (Extension) ලෙස KDU රෝහලේ හෘද හා උරස් කුහර ඒකකයේ පහසුකම් භාවිතා කිරීමට මෙමඟින් අවස්ථාව සැලසෙනවා.
ඒ අනුව, ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සායනික කාර්ය මණ්ඩලයේ මැදිහත්වීමෙන්, පොරොත්තු ලේඛනවල සිටින රෝගීන් සඳහා KDU රෝහල් පරිශ්‍රයේදී හෘද සැත්කම් සිදුකිරීම සහ විශේෂඥ ප්‍රතිකාර ලබාදීමේ විශේෂ වැඩසටහන මේ හරහා ක්‍රියාත්මක කෙරෙනවා.













