කාර්මික හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධන සැලැස්ම සැකසීමට වැඩමුළුවක් අගමැති ප්‍රධානත්වයෙන් (වීඩියෝ)

කාර්මික හා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ හා සංවර්ධන සැලැස්ම සෑදීම සඳහා වූ වැඩමුළුවක් අද (17) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන අමාත්‍යාංශයේ දී පැවැත් වුණා.

එම සංවර්ධන සැලැස්ම සැකසීමට අදාළව හඳුනාගනු ලැබූ ගැටලු සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය නිර්දේශ හා නිශ්චිත කාර්යන් සකස් කිරීම මෙම වැඩමුළුවේ දී සිදු වුණා.

ඒ, අනුව පාසල් පද්ධතිය තුළ වෘත්තීය පුහුණුව වැඩි වශයෙන් ව්‍යාප්ත කිරීමට මෙන්ම උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයන් සහසම්බන්ධ කිරීම ඔස්සේ තරුණ විරැකියාවට පිළිතුරු සැපයීමටත් ජාතික හා අන්තර්ජාතික මට්ටමින් පිළිගැනීමට ලක් වන පරිදි වෘත්තීය සුදුසුකම්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් එමගින් කර්මාන්ත ක්ෂේත්‍රයේ සබඳතා ඉහළ නැංවීමටත් අදාළ යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කෙරුණා.

ඒ, අතරම ආබාධිත ප්‍රජාවට වෘත්තීය අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා වී තිබෙනවා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරිය වශයෙන් අග්‍රාමාත්‍යවරිය මාර්ගෝපදේශකත්වය සැපයූ මෙම වැඩමුළුවට වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.