රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ කටයුතු අද අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ජාත්‍යන්තර ප්‍රමිතියෙන්, නවීන පහසුකම්වලින් යුක්තව ඉදි වූ රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය (Professorial Ward Complex – PWC) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අද (15) නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරුණා.
මෙවර අයවැයෙන් අධ්‍යාපන ක්ෂේත්රය සඳහා රුපියල් බිලියන 740ක් සහ සෞඛ්‍ය ක්ෂේත්රය සඳහා රුපියල් බිලියන 710ක් වශයෙන් ඉතිහාසයේ මෙතෙක් වෙන් කළ වැඩිම මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙන බව මෙහිදී ප්‍රකාශ කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, 2019 වසරේදී රුපියල් මිලියන 1,300ක මූලික ඇස්තමේන්තුවකින් ආරම්භ කළ ගාල්ල ජාතික රෝහලේ මහාචාර්ය ඒකකය අවසානයේ රුපියල් මිලියන 2,808ක වියදමින් නිම කිරීමට සිදු වූ බව ද ප්‍රකාශ කළා.
මීට අමතරව ගාල්ල ජාතික රෝහලේ තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සඳහා රුපියල් මිලියන 8,500ක් (කෝටි 850ක්) වැය කෙරෙන බවත්, සබරගමුව, බදුල්ල සහ කළුතර යන වෛද්‍ය පීඨවල ද නව මහාචාර්ය ඒකක ආරම්භ කරන බව ද සඳහන් කළා.
රෝහල් සඳහා අවශ්‍ය නවීන වෛද්‍ය උපකරණ (MRI, Linac යන්ත්‍ර ඇතුළුව) මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් බිලියන 21.5ක දැවැන්ත මුදලක් වෙන් කර ඇති බව ද, අතරමග නතර වී තිබූ සියලුම රෝහල් ගොඩනැගිලි ඉදිකිරීම් 2028 වසර වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට රජය සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
මහල් දහයකින් සමන්විත මෙම නවීන වාට්ටු සංකීර්ණය තුළ වෛද්‍ය, ශල්‍ය, මනෝචිකිත්සක සහ විශේෂිත නාරිවේද වාට්ටු සඳහා වෙන් කළ ඇඳන් 300ක ධාරිතාවක්, ඇඳන් 8කින් යුත් දැඩි සත්කාර ඒකකයක් (ICU), නවීන පහසුකම් සහිත ශල්‍යාගාර 3ක්, බාහිර රෝගී සායන කාමර 8ක් සහ විශේෂිත සායනික විභාග ශාලාවක් ඇතුළත් වෙනවා.
උසස් අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමකට අනුව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ භූමි දායකත්වයෙන් මෙම ඉදිකිරීම සිදු කර ඇති අතර, එහි ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය විසින් සිදු කර තිබුණා.
මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය (RUMSAA) සහ පරිත්‍යාගශීලීන් ද දායකත්වය දක්වා ඇති අතර, චීනයේ ගුවැන්ෂු නගරයේ චීන මහා බුද්ධ විහාරයේ අනුග්‍රහය සහ කොන්සියුලර් කාර්යාලයේ සම්බන්ධීකරණය මත වාට්ටු, ශල්‍යාගාර සහ දැඩි සත්කාර ඒකකය සඳහා අත්‍යවශ්‍ය රෝහල් ඇඳන් ලබා දී තිබෙනවා. මීට අමතරව, ආදි වෛද්‍ය විද්‍යාර්ථීන්ගේ කණ්ඩායම් විසින් ප්‍රවේශ ශාලාව, සායන කාමර, විභාග ශාලාව සහ වෛද්‍ය වාට්ටු සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ පරිත්‍යාග කර ඇති අතර, එහි වටිනාකම රුපියල් මිලියන 25 ඉක්මවනවා.
තවද, ජාත්‍යන්තර සිංහ සමාජය හරහා එක් ශල්‍යාගාරයක් සම්පූර්ණයෙන් සන්නද්ධ කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 150,000ක පරිත්‍යාගයක් ලබා දීමට එකඟ වී තිබෙනවා.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා 2017 වසරෙන් පසු සිදු නොකළ සෞඛ්‍ය ක්ෂේත්රයේ කාර්ය මණ්ඩල සමාලෝචනය (Cadre Review) සිදු කර ඇති අතර, ඉදිරි වසර තුන සඳහා වෛද්‍යවරුන් 7,000ක පමණ අනුමැතිය ලබා ගැනීමට නියමිත බව ද ප්‍රකාශ කළා.
සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 1,472කට පත්වීම් ලබා දීමට නියමිතව ඇති නමුත්, පවතින අධිකරණ ක්‍රියාමාර්ගයක් අවසන් වූ වහාම ඔවුන් ඇතුළු 2,000කට ආසන්න පිරිසකට කඩිනමින් පත්වීම් ලබාදීමට හැකිවනූ ඇති බව ද එමෙන්ම හෙද නිලධාරීන් 3,000කට සහ උපාධිධාරීන් 500කට ද නව පත්වීම් ලබා දීමට කටයුතු යොදා ඇති බව ද සඳහන් කළා.
