අබිරහස් ලෙස මියගිය ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක කපිල චන්ද්රසේනගේ මරණ පරික්ෂණයට අදාල රස පරීක්ෂක වාර්තා තවමත් ලැබී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (14) කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවේ දන්වා සිටියා.
කපිල චන්ද්රසේන මහතා මියගිය ස්ථානයේ තිබී සොයා ගන්නා ලද ඖෂධ වර්ග හතර සම්බන්ධයෙන් ලැබිය යුතු රස පරීක්ෂක වාර්තාවන් මේ වෙන තෙක් ලැබී නොමැති බවත් , අනෙක් වාර්තාවන් ලැබී ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.
එම අවස්ථාවේදී මහේස්ත්රාත්වරයා පවසා සිටියේ මැයි 8 වන දින මරණය සිදුවී මාසයක් ඇතුළත සාක්ෂි විමසින් ද අවසන් කළ ඇති අතර ඔක්තෝම්බර් 14 දක්වා ගස පරීක්ෂක වාර්තා ලබාගැනීමට නොහැකි වී ඇති බවයි. ඒ අනුව අධිකරණයට විතරක් මෙම ක්රියාවලිය කළ නොහැකි බව මහේස්ත්රාත්වරයා දන්වා සිටියා.
එම අවස්ථාවේදී කොළඹ අපරාධ කොට්ඨාශය පවසා සිටියේ සිද්ධියට අදාළ විය යුතු සඳහන් කරන ලද ඖෂධ වර්ග සම්බන්ධව රස පරීක්ෂා වාර්තා ලබාදීමට තවත් සති තුනක කාලයක් යන බව ඊයේ දින කොළඹ අපරාධ කොට්ඨාශයට දන්වා ඇති බවයි.
මෙම සිද්ධියට අදාලව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබී ඇති බවද යන්න සම්බන්ධයෙන් මහේස්ත්රාත්වරයා කළ විමසීමකදී විමර්ශන නිලධාරීන් පවසා සිටියේ තවමත් ඒ ලැබී නොමැති බවයි.
සිද්ධියට අදාල මරණ පරීක්ෂණ සාක්ෂි කැඳවා අවසන් බැවින් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ රස පරීක්ෂණ වාර්තාව ලබා ගැනීම සඳහා කොළඹ ප්රධාන අධිකරණ වෛද්යවරයාට සහ රජයේ රස පරීක්ෂකවරයාට පෙර නඩු දිනයේදී මහේස්ත්රාත්වරයා විසින්
නොතිසි නිකුත් කර තිබුණා.










