Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිදුවෙමින් පවතින විමර්ශනයේ කොටසක් ලෙස, ඔහුගේ පෞද්ගලික රියදුරන් දෙදෙනාට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම (CIABOC) විසින් කැඳවා තිබෙනවා.

නොවැම්බර් 18 සහ 19 යන දිනවල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) ඉදිරියේ පෙනී සිටින ලෙස ඔවුන්ට සිතාසි නිකුත් කර ඇති බවට වාර්තාවෙනවා.

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් මත විමර්ශනය ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව 2023 අංක 09 දරන දූෂණ වැළැක්වීමේ පනත යටතේ කථානායකවරයාට එරෙහිව විමර්ශනය ආරම්භ කර තිබෙන බව සඳහන් වෙනවා.

කථානායකවරයාට නිල වශයෙන් අවසර දී ඇති වාහන දෙකට අමතරව, පාර්ලිමේන්තුවට අයත් NC 4923 අංකය දරන වාහනයක් නීති විරෝධී ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

කථානායකවරයාගේ නිල රාජකාරි සඳහා භාවිතා කළ වාහනය අනතුරකට ලක් වූ බවත්, රක්ෂණ මුදල් සමඟ පාර්ලිමේන්තුවේ මුදල් වාහනය අලුත්වැඩියා කිරීම සඳහා වියදම් කළ බවත් වාර්තා පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන්, අල්ලස් කොමිසම මෑතකදී පාර්ලිමේන්තු ප්‍රවාහන අංශයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා තිබෙනවා.

අල්ලස්, දූෂණ සහ අක්‍රමිකතා චෝදනා මත විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව මෑතකදී විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා.

යෝජනාවේ අඩංගු චෝදනා 50 න් එකක් වූයේ නිල වාහන දෙකකට අමතරව තවත් වාහනයක් නීති විරෝධී ලෙස භාවිතා කරන බවට එල්ල වූ චෝදනාවකි.

මෙවන් පසුබිමක හෙට සහ අනිද්දා දෙදින තුළ කථානායකවරයාගේ රියදුරන් දෙදෙනා වෙත අල්ලස් කොමිසමෙන් කැඳවීම් සිතාසි යවා තිබෙනවා.