එල්-නිනෝවෙන් බැටකන මෙරට පවුල් සංඛ්‍යාව 35,000 ඉක්මවයි

දිවයිනට බලපා ඇති එල්-නිනෝ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වී ඇති මුළු පවුල් සංඛ්‍යාව මේ වනවිට 35,169ක් දක්වා ඉහළ ගොස් ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (08) නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව මෙම එල්-නිනෝ ආපදා තත්ත්වය හේතුවෙන් පීඩා විඳින සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 115,586 ක් වී ඇති බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ.

එමෙන්ම දිස්ත්‍රික්ක වශයෙන් ගත්විට දිස්ත්‍රික්ක 07කට මෙම එල්-නිනෝ ආපදා තත්ත්වය බලපා තිබෙනවා.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වශයෙන් ගත්විට කොට්ඨාස 35ක් මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පීඩා විඳින අතර, එයින් කොට්ඨාස 34කට පානීය ජලය ලබා දීම මේ වනවිට සිදු කරනවා.

ඒ අනුව පවුල් 34,628කට සහ පුද්ගලයින් වශයෙන් ගත්විට, පුද්ගලයින් 113,406කට පානීය ජලය බෙදා හැරීම මේ වනවිට සිදු කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

මේ අතර බදුල්ල, මඩකලපුව සහ මොණරාගල යන දිස්ත්‍රික්ක පානීය ජලය නොමැති වීම හේතුවෙන් වැඩි වශයෙන්ම පීඩා විඳින දිස්ත්‍රික්ක වනවා.

ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10කට අයත් පවුල් 5,435ක පුද්ගලයින් 20,418කට ජලය බෙදා හැරීම සිදු කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

එමෙන්ම, මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08කට අයත් පවුල් 11,142ක පුද්ගලයින් 33,394 ක්ද , මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08කට අයත් පවුල් 12,732ක පුද්ගලයින් 41,360ක්ද පානීය ජලය නොමැති වීම හේතුවෙන් පීඩා විඳින අතර ඔවුන්ට පානීය ජලය බෙදා හැරීම මේ වනවිට සිදු වනවා.