එක් ගමකින්, අවම එක් ව්‍යවසායකයෙක් බිහිකරන රජයේ වැඩසටහන ඇරඹේ

ව්‍යවසායකත්වය ඉලක්ක කරගනිමින් මූල්‍ය සම්පත් යෙදවීමෙන් ජාතික ආර්ථික වර්ධනය වේගවත් කළ හැකි බවත්, නව ව්‍යවසායන් ආරම්භ කිරීම සඳහා මූල්‍ය පහසුකම් සැලසීම රජයේ ප්‍රමුඛ අවධානයක් බවත් කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පවසනවා.

දිවයිනේ සියලුම ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි අවම වශයෙන් එක් ව්‍යවසායකයකු බැගින් බිහිකිරීමේ අරමුණින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) ක්‍රියාත්මක කරන ‘ව්‍යවසායකයින් 14014 මෙහෙයුම් ක්‍රියාන්විතය’ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) දිවුලපිටියේදී ආරම්භ කෙරුණා.

එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ නව ව්‍යවසායකයන් බිහිකිරීමට මූල්‍ය සහාය ලබාදීම මෙන්ම ඔවුන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීම සහ වෙළෙඳපොළ අවස්ථා සොයාගැනීමට සහාය වීම ද අපේක්ෂා කෙරෙනවා.

ව්‍යවසායකයන්ට ණය ලබාදීමෙන් පමණක් මෙම වැඩපිළිවෙළ සීමා නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ව්‍යවසායකයන් ගොඩනැගීම, අවශ්‍ය දැනුම ලබාදීම සහ ඔවුන්ගේ නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ අවස්ථා සලසා දීම සඳහා ද ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහාය ලබාදීමට නියමිත බව පැවසුවා.

ව්‍යවසායකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සහ ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා බැංකු වෙත අවශ්‍ය උපදෙස් ලබාදීම රජයේ වගකීමක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම, ව්‍යාපාරික කටයුතු සඳහා අල්ලස් ලබාදීමට සිදුවන යුගය අවසන් වී ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියා.

රජයේ වගකීම මූල්‍ය විනය ආරක්ෂා කිරීම බව සඳහන් කළ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ආර්ථිකය බංකොලොත්භාවයේ සිට කෙටි කාලයක් තුළ ස්ථාවරත්වය කරා ගමන් කර ඇති බව ජාත්‍යන්තර සංවිධාන සිය වාර්තා මඟින් පෙන්වා දී ඇතැයි ද ප්‍රකාශ කළා.

‘ව්‍යවසායකයින් 14014 මෙහෙයුම් ක්‍රියාන්විතය’ ප්‍රධාන අංශ හයක් යටතේ ක්‍රියාත්මක වේ. ඒ අනුව, ‘ධීවර දිරිය’ ධීවර ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන, ‘කෘෂි නවෝදය’ කෘෂිකාර්මික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන, ‘ක්ෂීර විප්ලවය’ පශු සම්පත් සංවර්ධන වැඩසටහන, ‘ලියසවිය’ කාන්තා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන, ‘හෙට ඔබට’ තරුණ ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන සහ ‘ප්‍රභාතය’ උතුරු ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පිරිසකට ඔවුන් සුදුසුකම් ලැබූ ණය මුදල්වලට අදාළ චෙක්පත් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත විසින් සංකේතාත්මකව ප්‍රදානය කරනු ලැබුවා.