මේ දිනවල පැවැත්වෙන ලෝක් සභා මැතිවරණය අතරතුර ඉන්දීය මැතිවරණ කොමිසම විසින් ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ වැඩසටහනක් පසුගිය සතියේ දියත් කළා.
මේ සඳහා ශ්‍රී ලංකාවෙන් ද දසදෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් එක් වුණා.
ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ නියෝජිතයන් දෙදෙනෙකු සහ මැතිවරණ නීති සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නියෝජනය කරමින් අටදෙනෙකු ද එම නියෝජිත පිරිසට ඇතුළත්.
මෙම වැඩසටහනේ අරමුණ ඉන්දියාවේ මැතිවරණ පද්ධතියේ ශක්තිමත්භාවය සහ ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ භාවිතා කරන මනා පිළිවෙත් පිළිබඳව දැනගැනීම සඳහා මැතිවරණ ක්ෂේත්‍රය තුළ කටයුතු කරන ජාත්‍යන්තර මැතිවරණ කළමනාකරණ ආයතන සහ සංවිධාන සඳහා වේදිකාවක් සකස් කිරීමයි.
ඉන්දීය මැතිවරණ කොමිසම මීට පෙර 2014 සහ 2019 වසරවල දී පැවති ලෝක් සභා මැතිවරණයන්හිදී ද මෙවන් වැඩසටහන් සංවිධානය කළා.
තොරතුරු තාක්ෂණ මුලපිරීම් සහ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වපසරිය පිළිබඳ අදහසක් ලබා දීම වැනි මාතෘකා රැසක් ආවරණය කරමින් විවිධ දැනුවත් කිරීමේ සැසි මෙම වැසඩහටහනට ඇතුළත්.
මෙයට අමතරව, සහභාගීවන්නන්ට මැතිවරණ ක්‍රියාවලීන් නිරීක්ෂණය කිරීම සහ විවිධ ඡන්ද මධ්‍යස්ථානවල ඡන්ද ප්‍රකාශ කිරීම දැකබලා ගැනීම සඳහා ද අවස්ථාව හිමි වුණා.
මෙම වසරේදී, ඉන්දීය මැතිවරණ කොමිසම ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ වැඩසටහන සඳහා මැතිවරණ කළමනාකරණ ආයතන 55ක් නියෝජිතයන් සහභාගී වී තිබෙනවා.
ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ සහභාගීත්වය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික බැඳීම් ශක්තිමත් කිරීමට සහ මැතිවරණ පාලනය සම්බන්ධයෙන් දැනුම සහ අත්දැකීම් බෙදාහදා ගැනීමට වන කැපවීම අවධාරණය කරන බව මෙම වැඩසටහන සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළා.