ඉදිකිරීම් කර්මාන්තයේ නියැළී සිටින රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පාර්ශ්වයන්ට රජයේ ආයතන සමඟ කටයුතු කිරීමේදී මතුවන ගැටලු, ප්‍රමාදයන් සහ පරිපාලනමය බාධා කඩිනමින් විසඳීමේ අරමුණින් ස්ථාපිත කළ ‘Builders’ Gateway’ ඉදිකිරීම් කර්මාන්ත සහාය මධ්‍යස්ථානය අද (20) කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ පිහිටි ‘වියසා’ මධ්‍යස්ථානයේදී නිල වශයෙන් විවෘත කෙරුණා.
ඊට සමගාමීව එම මධ්‍යස්ථානය සමඟ මාර්ගගතව (Online) සම්බන්ධ විය හැකි නිල වෙබ් අඩවිය ජනගත කිරීමද නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහගේ සහ ජනාධිපති ලේකම් නන්දික සනත් කුමාරනායකගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.
2027 වර්ෂය සඳහා රුපියල් බිලියන 2,000ක සංවර්ධන අයවැයක් ඉදිරිපත් කර ඇති පසුබිමක එම සංවර්ධන කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිකිරීම්කරුවන්ට පවතින ගැටලු අවම කරමින් රජයේ පාර්ශ්ව සමඟ සෘජු සම්බන්ධීකරණ ක්‍රියාවලියක් පවත්වාගෙන යාම මෙම මධ්‍යස්ථානය හරහා සිදු කිරීමට නියමිතයි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පැවසුවේ, රජයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඉන් 95%ක පමණ වැඩ කොටසක් ඉදිකිරීම් ක්ෂේත්රයේ නියැළී සිටින පෞද්ගලික අංශය මගින් සිදු කෙරෙන බවයි.
එහිදී ටෙන්ඩර් හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙන්ම ගිවිසුම් පදනම් කරගනිමින් කුඩා, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලු මෙම මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වීමෙන් නිරාකරණය කර ගැනීමේ හැකියාව ලැබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
ඉදිකිරීම්කරුවන්, සැපයුම්කරුවන්, යන්ත්‍රෝපකරණ සපයන්නන්, සේවා සපයන්නන් සහ උපදේශන සමාගම් ඇතුළු ඉදිකිරීම් කර්මාන්තයේ සියලුම පාර්ශ්වයන්ට මෙම මධ්‍යස්ථානයට පැමිණ හෝ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සේවා ලබා ගැනීමේ හැකියාව පවතිනවා.










