ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති විශේෂ කුටියට ඉහළින් ඉදිකර ඇති රන් වියන, ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව නිරාවරණය කිරීම අද (20) සුබ මොහොතින් සිදු කෙරුණා.
දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති විශේෂ කුටියට සෙවන දෙමින් ඊට ඉහළින් ඉදිකර තිබෙන මෙම රන් වියන ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණේ 2025 වසරේ දීයි.
අතිනවීන ඉංජිනේරු තාක්ෂණයෙන් සහ රන් ක්ෂේත්රය පිළිබඳ ප්‍රවීනයින්ගේ සහයෝගයෙන් මල්වතු, අස්ගිරි විහාරයන්හි මහානායක හිමිවරුන්ගේ අනුශාසනා පරිදි මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබෙනවා.
තායිලන්තයේ වට් මාර්ප් ජෑන් ආරාමයේ දායකත්වයෙන්, කැරට් 24 රන් පියළි අතුරා මෙවර රන් වියන ප්‍රතිසංස්කරණය කර තිබීම විශේෂත්වයක්.
රන් වියන නිරාවරණය කිරීමේ අවස්ථාවට අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පූජ්‍ය මහවෙල රතනපාල ප්රමුඛ මල්වතු, අස්ගිරි පාර්ශවයන්හි සංඝරත්නය, දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ඇතුළු ආරාධිතන් රැසක් එක්ව සිටියා.
