ඇහැළියගොඩ OIC වෙඩි වැදී මියයාම ගැන විමර්ශන තවදුරටත්

ඇහැළියගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙඩි වැදීමෙන් මිය ගොස් සිටිය දී අද (21) අලුයම සොයා ගැනුණා.

ස්ථානාධිපතිවරයා නවාතැන්ගෙන සිටි නිල නිවසේ දී ඔහු මෙලෙස සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදී තුවාල ලබා සිටි පොලිස් ස්ථානාධිපතිවරයා වහාම ඇහැළියගොඩ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇතත් රෝහල් ගතකරන විටත් ඔහු මියගොස් සිට ඇති බවයි වාර්තා වුණේ.

මෙය වෙඩි තබාගැනීමක් ද නැතහොත් කිසියම් අයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමක් ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

නවාතැන්ගෙන සිටි නිල නිවසේ දී ස්ථානාධිපතිවරයා වෙඩි වැදී සිටින ආකාරය ප්‍රථමයෙන්ම දැක තිබුණේ ඔහු අවදි කිරීම සඳහා ගිය තවත් පොලිස් නිලධාරියෙක්.

මෙලෙස මිය ගොස් ඇති ප්‍රියංකර ද සිල්වා නැමති ස්ථානාධිපතිවරයා 42 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

ඔහු වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

රත්නපුර කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරෙනවා.