ශ්රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කාර්යමණ්ඩලය සඳහා නොවැම්බර් 01 වැනිදා සිට අග්රහාර රක්ෂණාවරණයේ ප්රතිලාභ හිමිවීමට නියමිත අතර, ඒ පිළිබඳව කාර්යමණ්ඩලය දැනුවත් කිරීමේ සහ රක්ෂණාවරණය ප්රදානය කිරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (29) පස්වරුවේ සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණිගේ ප්රධානත්වයෙන් නාවින්න, බණ්ඩාරනායක ආයුර්වේද අනුස්මරණ පර්යේෂණ ආයතනයේදී පැවැත්වුණා.
ශ්රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කාර්යමණ්ඩලය සඳහා මෙතෙක් අග්රහාර රක්ෂණාවරණයක් ක්රියාත්මක වූයේ නැහැ.
ඒ අනුව, මිල ගණන් කැඳවීමේ ක්රියාවලියක් ඔස්සේ පූර්ණ විනිවිදභාවයකින් යුතුව අදාළ සේවක රක්ෂණාවරණය ලබාගැනීමට සංස්ථාව කටයුතු කර ඇති අතර, ඊට අමතරව ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ ක්රියාත්මක වන අග්රහාර රක්ෂණාවරණය ද කාර්යමණ්ඩලය වෙත ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
මෙම රක්ෂණාවරණය සඳහාවන මාසික වාරිකයෙන් සියයට 50ක් සංස්ථාව මඟින් ද, ඉතිරි සියයට 50 සේවකයාගෙන් ද දායකත්වය ලබාගනිමින් රක්ෂණාවරණය ක්රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව, සේවකයාගේ මූල්ය බර අවම කරමින් ඔවුන්ට රක්ෂණ ප්රතිලාභ ලබාගැනීමේ අවස්ථාව සැලසීම මෙහි අරමුණ වනවා.
අදාළ රක්ෂණාවරණය ලබාදීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ගිවිසුමට පසුගිය අගෝස්තු 01 වැනිදා එළඹ ඇති අතර, එම ගිවිසුමට අනුව නොවැම්බර් 01 වැනිදා සිට සංස්ථාවේ කාර්යමණ්ඩලයේ සියලු දෙනාට අග්රහාර රක්ෂණාවරණයේ ප්රතිලාභ හිමිවනවා.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මෙරට ආයුර්වේද හා දේශීය වෛද්ය ක්ෂේත්රය තවදුරටත් සංවර්ධනය කරමින් ජාත්යන්තර මට්ටමට ඔසවා තැබීමේ අවශ්යතාව පවතින බව පවසා සිටියා.
ලෝකයේ අනෙකුත් රටවල මෙම ක්ෂේත්ර අත්පත් කරගෙන ඇති ප්රගතිය හා සැසඳීමේදී ශ්රී ලංකාව තවදුරටත් ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් නියෝජ්ය අමාත්යවරයා, එය අභියෝගයක් ලෙස භාරගෙන ජයගැනීම සඳහා පැහැදිලි සැලසුමක් සහ ඒ පිළිබඳ ක්ෂේත්රයේ සියලු පාර්ශ්වයන් අතර එකඟතාවක් ගොඩනඟා ගැනීමේ වැදගත්කම ද අවධාරණය කළා.
ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්ය අමුද්රව්ය සපයා ගැනීමේදී පවතින ගැටලු පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා, ඉන්දියාව වැනි විදේශීය රටවලින් අමුද්රව්ය ආනයනය කිරීම මත දිගින් දිගටම රඳා පැවතීම වෙනුවට, මෙරට තුළ ශක්තිමත් අමුද්රව්ය සැපයුම් හා වෙළෙඳපොළ පද්ධතියක් ගොඩනැඟීමේ අවශ්යතාව පෙන්වා දුන්නා.
විදේශීය සැපයුම් සීමා වන අවස්ථාවකදී මෙම ක්ෂේත්රය අර්බුදකාරී තත්ත්වයකට පත්වීම වළක්වා ගැනීමට නම්, දේශීය අමුද්රව්ය නිෂ්පාදනය හා සැපයුම විධිමත් කිරීම අත්යවශ්ය බව ද නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළා.
සාම්ප්රදායික ඖෂධ නිෂ්පාදනවලට පමණක් සීමා නොවී නව්ය නිෂ්පාදන වෙත යොමුවීමට හැකි වන්නේ නම් ජාත්යන්තර වෙළෙඳපොළ තුළ සැලකිය යුතු ඉල්ලුමක් නිර්මාණය කරගැනීමට අවස්ථාව පවතින බව ද අමාත්යවරයා පෙන්වා දුන්නා.
ඒ සඳහා ක්ෂේත්රය සතු යන්ත්රසූත්ර හා තාක්ෂණය නවීකරණය කිරීමත්, පවතින දැනුම කාලීන අවශ්යතාවන්ට ගැළපෙන පරිදි යාවත්කාලීන කරගැනීමත් වැදගත්වන බව නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි අවධාරණය කළා.
දැනට පවතින අභියෝග දෙස සෘණාත්මකව නොව, නව අවස්ථා උදාකරගත හැකි සාධක ලෙස ධනාත්මකව බලමින් ඒවා ජයගැනීමට කටයුතු කළ යුතු බව ද පැවසුවා.
මෙම සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යන අතරතුර සේවක සුබසාධනය වෙනුවෙන් ද අවශ්ය පියවර ගන්නා බව සඳහන් කළ අමාත්යවරයා, සේවකයන් සඳහා හඳුන්වා දී ඇති අග්රහාර රක්ෂණාවරණ ක්රමය ඔවුන්ගේ සුබසාධනය තහවුරු කිරීම සඳහා වැදගත් ප්රතිලාභයක් වන බව ද අමාත්යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසුවා.
ජාතික රක්ෂණ භාර අරමුදලේ අග්රහාර රක්ෂණ යෝජනා ක්රමය යටතේ රෝහල්ගතව ප්රතිකාර ලබාගැනීම, ශල්යකර්ම හා වෛද්ය ප්රතිකාර, වෛද්ය පරීක්ෂණ, ඇතැම් විශේෂිත රෝග සඳහා ප්රතිලාභ සහ අනතුරු හා මරණ සම්බන්ධ වන්දි ඇතුළු ප්රතිලාභ රක්ෂණ යෝජනා ක්රමයේ කොන්දේසි හා සීමාවන්ට යටත්ව ලබාගැනීමේ හැකියාව පවතිනවා.
මෙම විශේෂ වැඩසටහන මඟින් රක්ෂණාවරණයේ ප්රතිලාභ, ඒවා ලබාගැනීමේ ක්රමවේදය සහ අදාළ කොන්දේසි පිළිබඳව කාර්යමණ්ඩලය දැනුවත් කිරීමට ද කටයුතු කෙරුණා.
මෙම අවස්ථාවට ශ්රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සභාපති ගීතාමනි කරුණාරත්න, කළමනාකරණ අධ්යක්ෂ වෛද්ය ජයලාල් මාරසිංහ, සාමාන්යාධිකාරී සම්පත් ඉඩම්ගොඩගේ, බණ්ඩාරනායක ආයුර්වේද අනුස්මරණ පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ වෛද්ය නිල්මිණි බස්නායක, ජාතික රක්ෂණ භාර අරමුදලේ නියෝජ්ය සාමාන්යාධිකාරී නිමාලි පතිරණ මෙන්ම ශ්රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කාර්යමණ්ඩලය ඇතුළු පිරිසක් එක්ව සිටියා.
