ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ විශේෂ සාකච්ඡාවක් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී සුගත් වසන්ත ද සිල්වාගේ ප්රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්රයේ දී පැවැත්වුණා.
මෙම අවස්ථාව සඳහා ඔස්ට්රේලියානු මහකොමසාරිස් මැතිව් ජෝන් ඩක්වර්ත් (H.E. Matthew John Duckworth) ඇතුළු නිලධාරීන් පිරිසක් ද මැතිවරණ පද්ධති පිළිබඳ ජාත්යන්තර පදනමේ (International Foundation for Electoral Systems – IFES) නියෝජිතයෝ ද සහභාගී වුණා.
මෙහිදී සංසදයේ නියෝජ්ය සම සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය පද්මනාතන් සත්යලිංගම් විසින් ගතවූ වසර එකහමාරක කාලය තුළ සංසදය විසින් ඉටුකරන ලද කාර්යභාරය සහ ප්රගතිය පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරනු ලැබුවා.
දිස්ත්රික් මට්ටමින් ආබාධ සහිත තැනැත්තන් සහ අදාළ රාජ්ය නිලධාරීන් සම්බන්ධ කරගනිමින් උපදේශන වැඩසටහන් මාලාවක් සංවිධානය කළ බවත්, උතුරු පළාතේ සහ කළුතර දිස්ත්රික්කයේ වැඩසටහන් සාර්ථකව නිම කර ඉදිරියේදී තවත් දිස්ත්රික්ක 6ක මෙම වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් සංසදයේ නියෝජ්ය සම සභාපතිවරයා පැවසුවා.
ලබන වසරේ අයවැය වෙනුවෙන් ආබාධ සහිත ප්රජාව නියෝජනය කරන සංවිධාන 50කට අධික සංඛ්යාවකගේ සහභාගීත්වයෙන් යෝජනා රැස් කර ඇති අතර, සෑම අමාත්යාංශයකම අයවැය ලේඛනය තුළ ආබාධ සහිත ප්රජාව වෙනුවෙන් වෙන්වූ වැය ශීර්ෂයක් (Disability inclusive budget line) ඇතුළත් කිරීමට යෝජනා කර තිබෙනවා.
1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත වෙනුවට ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූල නව ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත (Disability Bill) සම්මත කිරීමටත්, සංඥා භාෂා පනතක් (Sign Language Act) හඳුන්වා දීමටත්, විශේෂ අධ්යාපන ක්ෂේත්රයේ අවශ්ය සංශෝධන සිදු කිරීමටත් සංසදය පියවර ගනිමින් සිටින බව පාර්ලිමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ශ්රවණාබාධිත පුද්ගලයන්ට හදිසි අවස්ථාවකදී 119 පොලිස් හදිසි ඇමතුම් සේවාවන් සංඥා භාෂාවෙන් ලබා ගැනීමට හැකි වන පරිදි සංඥා භාෂාව පුහුණු කළ පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ‘වට්ස්ඇප්’ වීඩියෝ ඇමතුම් සේවාවක් සංසදයේ
සභාපතිවරයාගේ මැදිහත් වීමෙන් ආරම්භ කර තිබෙනවා.
සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී සුගත් වසන්ත ද සිල්වා විසින් ඉටුකරන ලද විශිෂ්ට සේවය උදෙසා පොදුරාජ්ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) විසින් පිරිනමනු ලබන 2026 වසරේ පොදු රාජ්ය මණ්ඩලීය නව පාර්ලිමේන්තු
මන්ත්රී සම්මානය (2026 Commonwealth New Parliamentarian Award) හිමිවීම සහ මෙරට ඉතිහාසයේ පළමු වරට ආබාධ සහිත ප්රජාව නියෝජනය කරමින් ඔහු 10 වැනි පාර්ලිමේන්තුවට පත්වීම ජයග්රහණයක් බවත් වෛද්ය පද්මනාතන් සත්යලිංගම්
පෙන්වා දුන්නා.
සාකච්ඡාවට එක්වූ ඔස්ට්රේලියානු මහකොමසාරිස්වරයා සඳහන් කළේ ආබාධ සහිත ප්රජාව අනෙකුත් ප්රජාවට සමගාමීව ඉදිරියට ගෙනයාම ප්රජාතන්ත්රවාදී පාලනයක සහ ඔස්ට්රේලියානු විදේශ ප්රතිපත්තියේ මූලික පරමාර්ථයක් බවයි.
දත්ත පද්ධති ගොඩනැගීම, සංඥා භාෂා ශබ්දකෝෂ නිර්මාණය ඇතුළු ප්රතිපත්තිමය නීති සංශෝධන සඳහා දිගු කාලීනව සහයෝගය ලබා දීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළා.
සංසදයේ ඉදිරි කටයුතු සඳහා සියලු අවශ්යතා ආවරණය වන පරිදි පුළුල් ක්රියාකාරී සැලැස්මක් (Action Plan) ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව සියලු පාර්ශ්වවල සහයෝගයෙන් මෙරට ආබාධ සහිත ප්රජාවගේ උන්නතිය වෙනුවෙන් කැපවී කටයුතු
කරන බවත් සංසදයේ සභාපතිවරයා විසින් මෙහිදී අවධාරණය කරනු ලැබුවා.
ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සාමාජික මන්ත්රීවරු පිරිසක් මෙම රැස්වීමට සහභාගී වුණා.
