Update – දෙවුන්දර වෙඩි තැබීමේ සිද්ධිය ගැන තවත් තොරතුරු එළියට; මහේස්ත්‍රාත් පරීක්ෂණයත් සිදු කෙරේ (වීඩියෝ)

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්‍රි 11.45ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබුණා.

මෙම වෙඩි තැබීමෙන් යොමේෂ් නදිෂාන් සහ පසිදු තාරුක යන 28 සහ 29 යන වයස්වල පසුවූ තරුණයින් දෙදෙනෙක් ඝාතනයට ලක් වුණා.

මෙම තරුණයින් දෙදෙනා ඊයේ (21) රාත්‍රියේ දෙවිනුවර, කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවති මිතුරෙකුගේ උපන්දින සාදයකට සහභාගී වී යළි නිවෙස බලා යමින් සිටිය දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මොවුන් දෙදෙනා ගමන් ගත් යතුරුපැදිය පසුපසින් පැමිණි වෑන්රථයක් යතුරුපැදියේ හප්පා අනතුරට පත්කර තරුණයින් දෙදෙනාට වෙඩි තබා පලාගොස් ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

T-56 සහ මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවි දෙකකින් මෙම වෙඩි තැබිම සිදුකර ඇති අතර, වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී T-56 උණ්ඩ කොපු 39ක් ජීව උණ්ඩ 02ක් ද; මිලිමීටර් 09 වර්ගයේ උණ්ඩ කොපු 02ක් සහ ජීව උණ්ඩ 02ක් සොයාගැනිමට පොලිසියට හැකිව තිබෙනවා.

මේ අතර වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරන වෑන් රථයක් වෙඩි තැබිම සිදුවූ ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයක ගිනි තබා දමා ගොස් තිබියදි පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඒ, තුළ ට්‌-56 තුවක්කුවකට යොදන මැගසීනයක් සහ තවත් T-56 උණ්ඩ කොපු තිබී හමුවී තිබෙනවා.

වෙඩි තැබිම සිදුවූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාතර අතිරේක මහෙස්ත්‍රාත් මාලන් ශිරාන් ජයසුරිය මහතා විසින් අද (22) අලුයම් කාලයේ දී සිදුකර තිබෙනවා.

වෙඩි තැබිම සිදුකළ පුද්ගලයින් හෝ මෙම වෙඩි තැබීමට හේතුව සම්බන්ධයෙන් තොරතුරු අනාරණය වී නැහැ.