ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පාපජෝර්ජියෝ ඇතුළු නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවී තිබෙනවා.
ඊයේ (22) දින පාර්ලිමේන්තුවේ දී මෙම හමුව සිදුව ඇති බවයි වාර්තා වුණේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම් යටතේ සිදුකෙරුණු ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ අත්දැකීම්, ප්‍රතිඵල සහ විශේෂයෙන්ම එහි හත්වන සමාලෝචනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වී තිබුණා.
එහිදී දූෂණ විරෝධී පනතට යෝජිත සංශෝධන කෙරෙහි අවධානය යොමු වූ අතර, වත්කම් ප්‍රකාශ කිරීම හරහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත වාර්තා කරන තොරතුරුවල පෞද්ගලිකත්වය සහ විනිවිදභාවය අතර සමබරතාවය පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද දෙපාර්ශ්වය අතර සාකච්ඡා වී තිබෙනවා.













