කාලානුරූපීව තාක්ෂණ දියුණුවත් එක්ක සමාජ මාධ්‍යයේ බොහෝ ගීත තිබුණත් ඒ නිර්මාණ හදවතින් වැලඳගත්ත දීර්ඝකාලීන ප්‍රේක්ෂකාදරයක් ලබන්න නම් ගුවන් විදුලිය වැනි මාධ්‍ය අත්‍යවශ්‍යයි
පොල් රුප්පාවේ දඟකළ සෙල්ලම් “සිතට නැඟෙන විට සුළඟේ පාවී සවන් පත් වල නිම්නාද වන්නේ ඔහුගේ ළයාන්විත හඬයි. බාල මහලු සහ තරුණ කොයි කාගෙත් ආදරය දිනූ ගමෙහි සුවඳ හා මුසුවූ ප්‍රේමාන්විත හඬක් හිමි ඔහු ගායන ශිල්පී විශාරද චන්දන ලියනආරච්චියි. ලාංකේය ගීත ක්ෂේත්‍රයේ අනූව දශකය තුළ ප්‍රේම හා විරහ ගීත හරහා අතිශය ජනප්‍රියතාවක් ලැබූ ඔහු 1994 වර්ෂයේ දී “සිහින කුමාරියේ” නමින් සිය ප්‍රථම කැසට් පටය නිකුත් කළා. අදටත් මුවඟ මිමිණෙන ගීත රැසක හිමිකරුවා වන චන්දන ලියනආරච්චි “සිතුම් ගංගා, ලියතඹරා මල, කඩුපුල් මල් සහ නිල් වන ලන්දේ” යන ගීත එකතු තුළින් ද සිය සහෘදයන් ගීතවත්ව ආමන්ත්‍රණය කළා. කුලියාපිටිය ප්‍රදේශයේ උපත ලබා දියකලමුල්ල ශ්‍රීපති විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ ඔහුට උසස් පෙළ දක්වා සිප්සතර ලබා දුන්නේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයයි.
මුලින්ම ගීතයක් ගායනා කරපු දවස මතකද?
ඔව්. තුන ශ්‍රේණියේ ඉගෙනගන්න කාලෙ තමයි මම මුලින්ම ගීතයක් ගායනා කළේ.ඒ පන්ති භාර ගුරුතුමිය මගේ ගායන හැකියාව හඳුනා ගැනීමත් එක්ක. ඉන් අනතුරුව හය ශ්‍රේණියේ සිට පාසලේ දි සංගීතය විෂයයක් ලෙස හදාරන ගමන් විවිධ අවස්ථාවල දී ගීත ගායනා කරන්න මට අවස්ථාව උදා වුණා. පාසල් ජීවිතේ තුළ සමස්ත ලංකා මට්ටම දක්වා ම ගායනය ඔස්සේ ජයග්‍රහණ ලබාගන්න හැකිවීම විශාල සතුටක්.
පාසල් අධ්‍යාපනයෙන් පසු ජාතික තරුණ සේවා සභාව ඔබේ ගායන දිවියට ආලෝකයක් වුණේ කොහොමද?
ජාතික තරුණ සේවා සභාව හරහා බිහි වූ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි , චන්ද්‍රලේකා පෙරේරා, රෝයි පීරිස්, විජය බණ්ඩාර වැලිතුඩුව වැනි ගායන ශිල්පීන් ඒ අවදිය වන විට විශාල ජනප්‍රියතාවක් ලබාගෙන තිබුණා. ඉතින් මමත් සංගීතය හැදෑරීමේ බලාපොරොත්තුවෙන් තරුණ සේවා සභාවේ බෙල්වුඩ් නිකේතනයට සම්බන්ධ වුණා. එහිදී විශාරද නිහාල් ගම්හේවා කියන විශිෂ්ට ගුරුවරයා යටතේ ලලිත කලාවේදී සංගීත ඩිප්ලෝමාව සහ සංගීත විශාරද දක්වා හැදෑරුවා. පසුකාලීනව ක්ෂේත්‍රය බැබළවූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත සහ කරුණාරත්න විජේවර්ධන ආදීන් රැසක් මගේ සමකාලීනයන්.
ජාතික ගුවන් විදුලියේ මුලින් ම ගීයක් ප්‍රචාරය වුණ අවස්ථාව මතක් කළොත්?
පාසල් යන කාලෙ සිට ම මම ගුවන් විදුලියෙ ‘ බදාදා පිළිසඳර ‘ වැඩසටහනට සවන් දුන්නා. එහි ජාතික තරුණ සේවා සභාව පිළිබඳවත් ඒ හරහා නිර්මාණය වූ ගීතත් ප්‍රචාරය වුණා. පාසල් අවදියෙන් පසුව බෙල්වුඩ් සංස්කෘතික නිකේතනයට ඇතුළත් වෙලා සංගීතය හදාරන අවදිය තුළ ගායන ශිල්පීන් හා ශිල්පිනියන් කිහිප දෙනෙක් සම්බන්ධ කරගෙන තරුණ සේවා සභාව මගින් නිකුත් කළ ‘යොවුන් ගී හතළිස් තුනෙ’ කැසට්පටයට ගීත දෙකක් සඳහා හඬ මුසු කරන්න මටත් ඉඩක් වෙන්වුණා. ඒ ගීත දෙකෙන් ‘සසල මා නිසල වුණේ’ කියන ගීතය ‘බදාදා පිළිසඳර’ වැඩසටහනේ ප්‍රචාරය කෙරුණා. එය තමයි මගේ ගීත අතරින් මුලින්ම ගුවන් විදුලියෙ ප්‍රචාරය වුණේ. පසුකාලීනව ‘සිත පරව ගියා’ සහ ‘පොල් රුප්පාවෙන්’ ගීත ඔස්සේ ජන ආකර්ෂණය ලැබුණා.
දැන් වැඩිපුර මාධ්‍යය හරහා දකින්න නැත්තෙ නිර්මාණ කරනව අඩු නිසාද?
නැහැ. ඇත්තයම මම ඇතුළු සමකාලීන සහ ප්‍රවීණ ගායන ශිල්පියො ගොඩක් දෙනා අලුත් නිර්මාණ කරනවා. හැබැයි මාධ්‍යයේ තවමත් ඉඩක් තියෙන්නෙ අපේ මුල්කාලීන නිර්මාණවලටයි. වර්තමානය තුළ රසවත් ගීත නිර්මාණ කළත් ඒව රසිකයන් අතරට යන්නෙ අඩුවෙන්.
සමාජ මාධ්‍යය තුළ ජනප්‍රිය වන ගීත සඳහා විද්යුත් මාධ්‍යය තුළ ලොකු ඉඩක් වෙන්වීම මෙයට හේතුවක් ද.?
සමාජ මාධ්‍යය තුළ අසීමිත ජනප්‍රියතාවක් ලැබුණ නිර්මාණයක් නම් එයට යම් ඉඩක් විද්යුත් මාධ්‍යය තුළත් තිබිය යුතුයි කියන දේ මං විශ්වාස කරනවා. නමුත් සමාජ මාධ්‍යවල තියන යහපත් දේ තෝරාගෙන රසිකයාට ලබාදීමේ වගකීමෙන් ඔවුන්ට බැහැර වෙන්න බැහැ.
මං හිතන්නෙ සමාජ මාධ්‍ය හරහා පමණක් ලංකාවෙ ගීතයක් සමාජගත කරන්න බෑ. වයස් මට්ටම් එක්ක බැලුවත් සමාජ මාධ්‍ය පරිශීලනය කරන්නෙ යම් ප්‍රතිශතයක් පමණයි. නමුත් ගුවන් විදුලිය සහ රූපවාහිනිය කියන සන්නිවේදන ක්‍රම පොදු ජනතාවට වඩා සමීපයි.කාලානුරූපීව තාක්ෂණ දියුණුවත් එක්ක සමාජ මාධ්‍යය තුළ බොහෝ ගීත තිබුණත් ඒ නිර්මාණ හදවතින් වැලඳගත්ත දීර්ඝකාලීන ප්‍රේක්ෂකාදරයක් ලබන්න නම් ගුවන් විදුලිය වැනි මාධ්‍ය අත්‍යවශ්‍යයි.
ඔබේ ගීත නිර්මාණ ප්‍රබුද්ධ රසිකත්වය වැලඳගන්නව කියල හිතෙනවද?
මම ප්‍රබුද්ධ රසිකත්වය පමණක් ඉලක්ක කරගෙන ගීත නිර්මාණය කරන කෙනෙක් නෙවෙයි. නමුත් බොළඳ නොවන මැද මාවතේ ගීත තෝරාගන්න මං නිතරම උත්සාහ කරනවා. මගෙ මුල් කාලීන ගීත වැලඳගත්ත ඒ කාලෙ තරුණ වියේ සිටි පිරිස තාමත් මගෙ සංගීත ගමන එක්ක බැඳී සිටීම විශාල සතුටක්. ඒ වගේම බාල පරම්පරාව තුළත් මගේ ගීත වැලඳගත්ත බොහෝ පිරිසක් සිටින බව ලැබෙන ප්‍රතිචාරවලින් හැඟෙනවා. මට ඉලක්කගත රසිකත්වයක් නෑ. හැම කෙනාටම දැනෙන ගුණාත්මක නිර්මාණයක් කිරීමයි අරමුණ.
ගීතයක් ජනප්‍රිය වෙන්න රූප රචනාවක් බලපාන්නෙ කොයි විදියට ද.?
අතීතයට වඩා වර්තමාන සමාජ ප්‍රවණතා එක්ක ගීත සඳහා රූප රචනා අවශ්‍යයි කියල මටත් හිතෙනවා. ඒ නිසා විද්යුත් මාධ්‍යය තුළ සීමිත ඉඩක් වෙන් කෙරුණත් මෑත කාලීනව මම ගීත කීපයක් සඳහා රූප රචනා කළා.
ඒ අතරින් දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළ රසික ඩී දුමින්ද ලියපු ‘මටත් තිබුණා ප්‍රේමයක්’ ගීතය වඩාත් ජනප්‍රිය වුණා. ඒ වගේම ‘මා මේඛලා’ ගීතයටත් අනුරාධ අබේසිංහ සංගීතවත් කළ ආචාර්ය චමිලා පතිරණ රචිත’තාරුකා කුමරි’ සහ ‘උඳුවප් සිසිල’ නත්තල් ගීතය සඳහාත් රූප රචනා නිර්මාණය කළා. ගාමිණී හේවාවිතාරණ කියන අධ්‍යක්ෂකවරයාගෙ අලුත් සිනමා නිර්මාණයක ගීතයක් සඳහා පසුබිම් ගීත ගායනයෙන් දායක වෙන්න ලැබීමත් විශේෂයි.
උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත