කැපකිරීම
ජීවිතේ සෑම කාලයකදීම කැපකිරීම අපිත් එක්ක ගමන් කරනවා. ජීවිතේ සතුට, නිදහස, ජයග්‍රහණ තීරණය වෙන්නේ මේ කැපකිරීම මතයි. මේ කැපකිරීමටත් වගකීමක් තියෙනවා. මට දැනෙන විදිහට කැපකිරීම නැතිව අපිට ජීවිතේ කිසිම දෙයක් ලබාගන්න බැහැ.
අභියෝග
මම අභියෝගවලට හරිම ආසා කෙනෙක්. අභියෝග තිබුණොත් අපිට ජීවත් වෙනවා කියලා හැඟීමක් ඇතිවෙනවා. සත්ව ජාතිය කියන්නෙ දැනුම, නුවණ, ඕනෑම දෙයක් අධ්‍යයනය කරන්න පුළුවන් හැකියාවක් තියෙන අයයි. ජීවිතේ අභියෝග කියලා කියන්නේ අපිට බැහැ, අපි දන්නෙ නැහැ කියලා හිතාගෙන ඉන්න දේවල් අපිට පුළුවන් කියලා හිතලා ඒවා ජයග්‍රහණය කරන්න ගන්නා වෑයමයි. ජීවිතේ සාර්ථකත්වයට අභියෝග ඉතාම වටිනවා. මගේ ජීවිතේ ඒ වගේ අභියෝග බොහොමයක් ආවා. හැබැයි ඒ හැමදේටම මම මුහුණ දුන්නා. නිළියක් වුණාට මම එච්චර ලස්සන, සුදු කෙනෙක් නෙමෙයිනෙ. මට තාම මතකයි මගේ පළවෙනි චිත්‍රපටයෙන් පස්සේ මම ගිය ඇතැම් නිෂ්පාදන ආයතන මගේ රූපය නිසා මාව ප්‍රතික්ෂේප කළා. මාව හෑල්ලු කළා. මේ වගේ රෑපයක් එක්ක මේ ගමන යන්න බැහැ කියන අභියෝගය මට දුන්නා. ඒ දේ කිහිප වතාවක්ම මට වුණා. ඒ අභියෝගත් එක්ක මම මේ ගමන යන්න හිතාගත්තා. මම ඉන්න මේ රූපයෙන්ම වටිනාකමක් එකතු කර ගන්නවා කියලා මම හිතුවා. මට දැනෙන විදිහට අද ඒ අභියෝගය මම ජයගෙන ඉවරයි. මම දමිළ කෙනෙක් වීමත් සමහරුන්ට ප්‍රශ්නයක් වුණා. මට ඒ අභියෝගයටත් කොහොම හරි මුහුණ දුන්නා. ලංකාවේ සිනමාවේ දෙමළ කෙල්ලෙක්ට රැඳිලා ඉන්න පුළුවන් කියන අභියෝගයත් මම අද වෙද්දි ජයගෙන ඉවරයි. ඒ හැමදේම එක්කයි මම මගේ ගමන පටන් ගත්තේ. අද වෙද්දි මම චිත්‍රපට අටක් අවසන් කරලා තියෙනවා. අන්තර්ජාතික සම්මාන ලබාගන්නත් මට පුළුවන් වුණා.
ඉරිසියාව
ඉරිසියාව මට දැනිලා තියෙනවා. ඉරිසියාව අදටත් මට තියෙනවා. හැබැයි මම ඒ ඉරිසියාව කියන හැඟීම පාලනය කරන්න දන්නවා. ඒ දේ නොදැන ගියොත් අවුල්. අපි හැමෝටම මිනිස්සු විදිහට කෝපය, සතුට, ආසාවල් ඇතිවෙනවා නම් ඉරිසියාව ඇති නොවෙන්න විදිහක් නැහැනෙ. අපිට කෝපය, තරහව පාලනය වගේම මේ ඉරිසියාවත් පාලනය කර ගන්න පුළුවන් වෙන්න ඕනෙ. කවුරු හරි ඉරිසියාව ඇතිවෙලා නැහැ කියලා කියනවා නම් ඒක පට්ටපල් බොරුවක්.
ප්‍රථම ප්‍රේමය
මට ප්‍රථම ප්‍රේමය දැනුණේ මගේ පාසල් කාලයෙයි. සාමාන්‍ය පෙළ ඉගෙන ගනිද්දි ටියුෂන් ක්ලාස් එකේදි මම මුලින්ම එයාව මුණගැහුණා. එයා දමිළ පිරිමි ළමයෙක්. මුලින්ම එයා ආදර යෝජනාව ගෙනාවා. ඒක හරි සුන්දරයි. අපි ගෙදරට බයෙන් හොරෙන් බස්වල කතා කළා. බස්වලදි වුණත් අඳුරන අය දකීවි කියලා ළඟට වෙලා ඉන්නත් බැහැ. ඒ කාලේ අපි අම්මාගේ ෆෝන් එකෙන් තමයි හොරෙන් හොරෙන් ‘හායි’ කියලා මැසේජ් එකක් පවා යැව්වේ. ඒ කාලේ අපිට ෆෝන් තිබුණෙත් නැහැ. ඒත් අම්මලාට හොරෙන් හායි, කෑවද, බායි කියලා මැසේජ් දාපු කාලය හරි සුන්දරයි. දැන් ඒ වගේ ආදර කතා නැහැ.
ආදරය
ආදරයේදි අද බොහෝ වෙලාවට ලිංගිකත්වය ඉස්මතුවෙලා කියලයි මට දැනෙන්නේ. තරුණ වයසේ ඉන්න ළමයි තාක්ෂණයට ඇබ්බැහිවෙලා. තාක්ෂණයත් එක්ක හැඟීම් ප්‍රකාශ කිරීම් නිවැරදිව වෙන්නේ නැහැ. හදවතට දැනෙන දේවල්වලට වඩා ක්ෂණික දේවල්වලට අද බොහෝ දෙනා පෙළඹිලා. මට දැනෙන විදිහට ආදරය හරියටම දැනෙන්නේ නිතර කතා කරන්න බැරිව, දකින්න බැරිව කරන ආදරය තුළයි. ඒකෙ වටිනාකමක් තියෙනවා. ජීවිතේ ආදරය කියන දේ පිරිමි කෙනෙකුගෙන් ලබනවාටත් වඩා අපි ගාව තියෙන පොඩි පොඩි දේවල්වලිනුත් ආදරය ලබන්න පුළුවන් කියලයි මම විශ්වාස කරන්නේ.
පසුතැවීම
මගේ ජීවිතේ මට දැනෙන විදිහට පසුතැවීම් වෙලා තියෙනවා. විශ්වාස කරන්න හොඳ නැති මිනිසුන් විශ්වාස කරලා ප්‍රශ්නවලට මුහුණදීලා තියෙනවා. හදිසි තීරණ නිසා පවා පසුතැවීම් වුණා. වයසට යද්දි ලැබෙන අත්දැකීම් එක්ක අපි පරිණත වෙනවා. එහෙම අත්දැකීම් නැති කාලයේදි ගන්න ක්ෂණික තීරණ නිසා පසුතැවීම් වෙලා තියෙනවා. අදටත් ඒ ගැන පසුතැවෙනවා. අපිට ඒ වෙච්ච වැරදි මකන්න බැහැ. හැබැයි ඒ වැරදි ආයෙ නොවෙන්න අපිට හදාගන්න පුළුවන්. අපි ජීවිතේ වැරදුණු තැනින් පාඩමක් ඉගෙන ගන්නවා මිසක් ආයෙ ඒ වැරුද්ද කරන්න හොඳ නැහැ. මම මගේ පවුලේ අයට වඩා පිට මිනිස්සු හොඳයි කියලා හිතලා ගත්ත තීරණ නිසා පසුතැවුණු අවස්ථා තියෙනවා. නමුත් දැන් කවුරු අපේ ජීවිතවලට ආවත් මම මුල්තැන දෙන්නෙ මගේ පවුලටයි.
ජයග්‍රහණ
මට ලැබුණු හැම ජයග්‍රහණයක්ම මම වගකීමක් විදිහටයි දකින්නේ. සමහරු ජයග්‍රහණ නිසා ආඩම්බර වෙනවා. ඒක ඔළුවට ගන්නවා. නමුත් මම එහෙම හිතන්නෙ නැහැ. ජයග්‍රහණ කියන්නෙ වගකීමක් වගේම තවත් ගමනක ආරම්භයක්. පසුගියදා දවසක මම අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලකදි හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තා. ඒක මම රඟපෑ සුනාමි චිත්‍රපටය වෙනුවෙන් ලැබුණු සම්මානයක්. එහෙම නැතිව මගේ රංගන ජීවිතයේ මම රඟපෑ සමස්ත චරිත වෙනුවෙන් මට ලැබුණු සම්මානයක් නෙමෙයි. ඒ නිසා ඒ ලැබුණු සම්මානයෙන් ආඩම්බර නොවී මම ඊළඟ ජයග්‍රහණය වෙනුවෙන් සූදානම් වෙන්න ඕනෙ. ලැබුණු ජයග්‍රහණය දරාගෙන ඒක දිගටම පවත්වාගෙන යාම ලොකු වගකීමක්. ඒක මම තේරුම් අරගෙනයි ඉන්නේ.
ඉලක්ක
මගේ ජීවිතේ ඉලක්ක නැහැ. මගේ ජීවිතේ ඉලක්ක නැති වුණත් මගේ ජීවිතේ අරමුණු තියෙනවා. මට කාටවත් හානියක් නැතිව, කාටවත් කරදරයක් නැතිව හොඳ මතකයන් විතරක් ඉතිරි කරලා යන පුද්ගලයෙක් වෙන්න ඕනෙ. ඒක මගේ ජීවිතයේ අරමුණයි. මම නුවර ඉඳන් කොළඹ එද්දි මට අවුරුදු දහනවයයි. මම කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. එහෙම ආපු කෙල්ල අවුරුදු තිස්දෙක වෙද්දි අන්තර්ජාතික සම්මාන උළෙලක සම්මානයක් අරගනීවි කියලා මම දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මගේ ජීවිතේ සැලැස්ම මේ සොබාදහම නිර්මාණය කරලා ඉවරයි. මම මේ සොබාදහම එක්ක ගමන් කරන කෙනෙක්.
ඔයා කවුද?
මම කවුද කියලා මම තාම හොයනවා. දවසින් දවස අපේ ජීවිතවලට අලුත් දේවල් එකතු වෙනවා. අලුත් පුද්ගලයන්, අලුත් අදහස් ජීවිතයට එකතු වෙනවා. එක තැන තියෙන වතුර පල් වෙනවා. ගඳ ගහනවා. ඒ නිසා මම එක තැන රැඳිලා ඉන්න කැමති නැහැ. මම ජීවිතේ එක්ක ගලාගෙන යන්න කැමති කෙනෙක්.
දිශානි ජයමාලි කරුණාරත්න