බිරිඳට බෙන්ස් රථයක් තෑගි දුන්න, බුකියම කතා කළ කෝටිපතියා ගැන කවුරුත් නොසිතු කතාවක් එළියට

2015 ජනවාරි මස 10 වැනිදා ඇරැඹි සැලුන් හිස කෙයා හිමිකරු වූයේ පැතුම් මල්ලවාරච්චි නමැති තරුණ කෝටිපති ව්‍යාපාරිකයායි. ඔහු ඉතා කෙටි කලකින් කොණ්ඩ සැකැසුම් ව්‍යාපාරයෙන් දියුණුවට පත්වූ තරුණයෙකි.

මහරගම සැලුන් හිස කෙයා ආයතනයට අමතරව කොළඹ 2, නවම් මාවතේ, ෂිපින් ග්‍රින් ලංකා කුලුනෙහි 46/46 ස්ථානයේ තවත් කොණ්ඩ සැකැසුම් මධ්‍යස්ථානයක් ඔහු සතු විය.

එසේම ඔහු විසුවේ ද කොළඹ, නවම් මාවතේ සුපිරි මහල් නිවෙසකයි. පැතුම් පිළිබඳව ඉකුත් කාලයේ විශේෂයෙන්ම සමාජ මාධ්‍යයෙන් මහත් සේ කතාබහට ලක් වූයේය. ඒ, ඔහුගේ බිරියගේ පසුගියදා පැවැති උපන් දිනය වෙනුවෙන් රුපියල් කෝටි දෙකක් පමණ වටිනා අතිසුඛෝපභෝගි බෙනස් රථයක් ත්‍යාග ලෙස පිරිනැමීම නිසාවෙනි.

එලෙස සුපිරි දිවියක් ගත කළ පැතුම් පසුගිය 10 වැනිදා සන්ධ්‍යාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරිමලේ මාර්ගයේ පිහිටි ඇලයාපත්තුව පොලිස් වසමේ, ගල්කඩවල, ගල්පොත්තේගම නිවෙසක් අසලදී පුද්ගලයකු විසින් අඩි පහක් පමණ දිගැති කැත්තකින් එල්ල කළ ප්‍රහාරයකින් මරණයට පත් වූයේ ඇලයාපත්තුව රෝහලට ඇතුළත් ‍කිරීමටත් පෙරාතුවයි.

පැතුම්ට එලෙස මාරාන්තික පහර දීමක් සිදුකර තිබුණේ ඔහුගේ ආයතනයක සේවය කළ 21 හැවිරිදි තරුණියකගේ 23 හැවිරිදි සොහොයුරා වන ජේ. එම්. මහේෂ් දුමින්ද නමැත්තායි.

පැතුම් කුඩා අවදියේදී කලක් හැදි වැඩී තිබුණේ එම නිවෙසේයි. පසුගිය 10 වැනිදා සවස් යාමයේ රියැදුරා සමඟ සිය මෝටර් රථයෙන් පැතුම් ඇලයාපත්තුව, ගල්පොත්තේගම අදාළ තරුණියගේ නිවෙසට ගොස් තිබුණේ ඇයව නැවතත් සිය සේවා ස්ථානයක රැකියාවට කැන්දාගෙන ඒමටයි.

එහෙත් ඇය නැවත එම රැකියාවට යාම තරයේ ප්‍රතික්ෂේප කර තිබුණාය. පැතුම්ගෙන් ගැලවීමක් නොමැති තැන තරුණිය නිවෙසේ කාමරයකට ඇතුළුවී දොරගුළුලාගෙන ද සිටි බව කියවේ. එහෙත් ඇයට පැතුම්ගෙන් බේරීමක් නොමැති වූවාය. ඇය විලාප දී තිබුණේ අවට අයවලුන්ගෙන් උදව් ඉල්ලමිනි.

එය ඇසුණු තරුණියගේ සහෝදරයා මහේෂ් පැමිණීමත් සමඟ පැතුම් සමඟ බහින්බස් වීමක් ඇතිවී එය දුරදිග ගොස් තිබුණේය. ඒත් සමඟ ක්‍රියාත්මක වූ මහේෂ් අඩි පහක් පමණ දිගැති කැත්තක් ගෙන පැතුම්ට කොටා තිබුණේ මාරාවේශයෙනි.

එම ප්‍රහාරයෙන් පැතුම් ඇද වැටී තිබුණේ ඉඩමෙහි වැටද කඩාගෙනයි. එම අවාසනාවන්ත සිදුවීම පිළිබඳව තරුණියගේ මව පැවැසූවේ,

“පැතුම් කියන කෙනා එදා හැන්දෑවේ අපේ ගෙදරට ආවා… අපි දුවව අරගෙන ගිහින් ගේ ඇතුළේ තියාගෙන හිටියා… අරන් යයි කියලා බයට… ඒ වෙලාවේ දුව විලාප තියමින් අයියා මාව බේරගන්න කියලා කෑගැහුව්වා…”

පැතුම්ට කැත්තකින් කෙටීම පිළිබඳව අවට වැසියකු 119 පොලිස් හදිසි ඇමැතුම් අංකය අමතා පොලිසියට දැනුම්දීමත් සමඟ ක්‍රියාත්මක වූ ඇලයාපත්තුව පොලිස් නිලධාරීන් ක්ෂණිකවම පැමිණියේ එම ස්ථානයටයි.
අසල්වාසින් සහ පොලිස් නිලධාරීන් එක්ව පැතුම් ඇලයාපත්තුව රෝහලට රැගෙන ගියත් ඔහු මරණයට පත් විය. ඝාතකයා සොයා විමර්ශන සිදුකළ පොලිස් නිලධාරින් පැය කීපයක් ඇතුළතදී පැතුම්ගේ ඝාතකයා වූ මහේෂ් දුමින්ද අත්අඩංගුවට ගත්තෙ ප්‍රහාරය එල්ල කළ අඩි පහක් පමණ දිගැති කැත්තද සමඟිනි.

තරුණියගේ මව පොලිස් ප්‍රශ්න කිරීමේ හමුවේ බොහෝ තොරතුරු හෙළි කරමින් පැවැසුවේ,

“පැතුම් මාස කිහිපයකට කලින් අපේ ගෙදරට ඇවිත් දුවට එයාගේ ආයතනයක රැකියාවක් දෙන්නම් කියලා අරන් ගියා. ටික දවසයි ගියේ දුවට ඒ රස්සාව කරන්න බැහැ කියලා අපට කතා කරලා කිව්වා. තව දවසක් දුව කතා කරලා කිව්වා…එයා ඉන්න තැනින් පැනලා හරි ගෙදර එනවා කියලා… කොහොමහරි දින කීපයකට පස්සේ දුව ගෙදර ආවා… ඊට පස්සේ තමයි 10 වැනිදා පැතුම් දුවව හොයාගෙන ආවේ… ඒ වෙලාවේ තමයි ඔය දේ සිදු වුණේ…”

පැතුම් මල්ලවාරච්චි 1988 මැයි 21 වැනිදා අනුරාධපුර, ඇලයාපත්තුවේ අන්ත දුප්පත් පවුලක උපන්නෙකි. කුඩා කල සිටම මව්පිය සෙනෙහස නිසි පරිදි නොලැබුණු පැතුම් කලක් වාසය කර තිබුණේ බලහත්කාරයෙන් රැගෙන යාමට තැත් කළ තරුණියගේ නිවෙසේයි.

ඒ, එම තරුණියගේ පියාගේ හිතවත්කම මත එම නිවෙසට පැමිණීමෙනි. ඔහු කොණ්ඩා කැපීමේ රැකියාවට මුලින්ම පිවිස තිබුණේ වයස අවුරුදු 14දී පමණ අනුරාධපුරයේදියි. අනතුරුව පැතුම් කොළඹ, ගෙන්දගම් පොළොවට පය තබා ඇත්තේ මීට අවුරුදු හතකට පමණ පෙරදියි. කොළඹට පැමිණි ඔහු කොණ්ඩා සැකැසුම් ස්ථාන කිහිපයක සේවය කෙරිණි.

සැලුන් …… වර්තමානයේ පවත්නා ස්ථානයට පෙර එය කුඩාවට අරඹා තිබුණේ මහරගම, නාවින්නේම අතුරු මාර්ගයකයි. සිය ජීවිතය කොණ්ඩ සැකැසුම් ශිල්පය ඔස්සේ ජයගත් ආකාරය ගැන පැතුම් සමාජ මාධ්‍යයේද පසුගිය කාලයේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ මෙලෙසිනි.

“අද මම මෙ ඉන්න තැන මම ගෙවන ජිවිතෙ ඔක්කොම ලැබුණෙ ඔයා (කොණ්ඩා රැකියාව) හින්දා. ජිවිතෙ මාරම නපුරු කාලයක් තිබ්බ මම එද්දි මිනුස්සු මාව පිළිකුල් කරපු කාලයක් තිබ්බා. දුක් විඳ විඳ හැමතැනම ඇවිදපු කාලයක් තිබ්බා. මුළු ජිවිතෙම එපා වෙච්චි කාලයක් තිබ්බ. එත් ඒ හැමදෙම උඩුයටිකුරු කරලා වෙනස් කරලා දුන්නේ ඔයා. ඔව් ඔයා තමා මට අනන්‍යතාවක් දුන්නේ. මට වටිනාකමක් දුන්නේ… අම්මා තාත්ත නැතුව අධ්‍යාපනයක් නැතුව… කව්රුත් ගණන් ගන්නෙ නැතුව හිටිය මාව ගොඩ දැම්මෙ ඔයා. මට දැන් අවුරුදු 34ක්… ඔයා මගෙ අතෙ පැටළුණේ මිට අවුරුදු 20 කට විතර කලින්. ඉතින් ඔයා එපා කියලා මම මොන මොන දෙවල් කළාද… එත් ඔයා තමයි මාව ගොඩ දැම්මෙ අන්තිමට. ඔව් මම කවදාවත් අයෙත් ඔයා එපා කියන්නෙ නෑ . මම මැරෙන්නකල් ඔයා එක්ක ඉන්නවා මට ඔයාව හැමදාම වටිනව i love you my job… අපි හැමොටම අමාරු කාලයක් තියනවා. එත් අපි හරියට ආදරෙන් එක දෙයක් කරොත් අපිට පුළුවන් එකෙන් ගොඩ එන්න. මට මගෙ ජොබ් එක ලැබුණේ මගෙ තාත්තගෙන්. මම ඉස්සෙල්ලාම කොණ්ඩෙ කපන්න ගත්තෙ රුපියල් 20ට. ඔව් මට මේ ජොබ් එක එපා වෙච්චි කාලයක් තිබුණා. මම එක එක වැඩ කළා. එත් මට හිතට වැදුණු ජොබ් මේක. ඒක නිසා මම මේක ගොඩක් ඉගෙන ගත්තා. තාමත් ඉගෙන ගන්නවා. මම විශ්වාස කරන්නේ තමන් දන්න දේ හරියට ඉගෙන ගෙන ආදරෙන් ආසවෙන් ඒ දේ පටන් ගත්තොත් ඔනෙම වෘත්තීයක් කරන කෙනෙකුට ඉක්මනින් ගොඩ එන්න පුළුවන්. මොකද මම අවුරුදු 20 මේක දැනගෙන හිටියට මම මේකෙන් ගොඩ එන්න ඔනෙ කියලා හිතුවෙ 2015. ඉතින් මොන වෘත්තියක් කරන කෙනෙකුට වුණත් ඒ දේට ආසාවෙන් හරියට ඉගෙන සහ විශේෂයෙන්ම තමන්ගෙ වෘත්තීයට හොඳට ඉල්ලුම තියෙන්නේ කොහෙද කියලා මේ දේවල් ප්ලැන් කරලා තමන්ගෙ ජොබ් එක කළොත් ඒ කෙනා ඉක්මනින් ගොඩ…”

කෙසේ හෝ කොණ්ඩා මෝස්තර සැකැසුමෙන් ජීවිතය ජයගත් පැතුම්ගේ දියුණුව පිළිබඳව ඔහුගේ මරණයත් සමඟ නොයෙක් කතාන්දර කරළියට ඒමට පටන් ගැනිණි. විශේෂයෙන්ම සිය සේවා ස්ථානයේ රැකියාව කළ තරුණිය දින කිහිපයකින් නැවතත් නිවෙසට යාමද ප්‍රහේලිකාවකි. මේ සියල්ල පිළිබඳ පොලිස් නිලධාරීහු විමර්ශන සිදු කරති.

ඉතා කෙටි කලකින් 34 හැවිරිදි පැතුම් මල්ලවාරච්චි කොණ්ඩා සැකැසුමෙන් කෝටිපතියකු වෙමින් සුඛෝපභෝගී බෙන්ස් රථ සිය බිරියගේ උපන් දිනය වෙනුවෙන් පරිත්‍යාග කරමින් සුඛෝපභෝගි දිවි පෙවෙතක් ගත කිරීම පිළිබඳවද සමාජය ඉදිරියේ ඇත්තේත් ප්‍රශ්නාර්ථයකි.

පැතුම්ගේ ඝාතනයට අත්අඩංගුවට පත් තරුණියගේ සොහොයුරා වන මහේෂ් දුමින්ද ඇලයාපත්තුව පොලිස් නිලධාරින් විසින් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්පකුමාර වෙත ඉදිරිපත් කෙරිණි. විනිසුරුවරයා නියෝග කළේ සැකකරු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.

එසේම පැතුම්ගේ ඝාතනය පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ උතුරුමැද පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ සහ අනුරාධපුර පොලොන්නරුව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේනගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති ලංකා ගීගනගේගේ මෙහෙයවීමෙන් ඇලයාපත්තුව පොලිස් ස්ථානාධිපති බණ්ඩාර ප්‍රධාන නිලධාරිහු සිදු කරති.

අමිල මලවිසූරිය
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම, “සිළුමිණ” පුවත්පතෙන්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00
Video thumbnail
ජනපති අනුර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබූ හමුව - පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කරයි
01:53
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ සැලෝන් එකක් වටලයි - පලු දානවනේ මෙහෙම වුණාම..ඔක්කොම Expiredනේ..
04:47
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක්
01:02
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න
01:49
Video thumbnail
මල්වතු මහනාහිමියෝ කිව්ව ප්‍රබල ප්‍රකාශය
01:48
Video thumbnail
නීතිඥ සංගමය විපක්ෂයට කඩේ යනවද ? විපක්ෂය කොරහේ කිඹුල්ලු දකින එක නවත්වන්න
06:07
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක් - මේකා මේ ආණ්ඩුවට පක්ෂව කතා කරන්නේ හැමදාම..මේ වාසුවා
04:06
Video thumbnail
100ක් හිරේ දැම්මත් එකා පිටිපස්සේ එකා ඉන්නවා
00:31
Video thumbnail
ජනාධිපතිගේ හීනය ඉටුකරන්න අපි වැඩ කරනවා
02:26