කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ප්‍රතිකාර සේවාවන්හි ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් රුපියල් මිලියන 300කට ආසන්න මූල්‍ය පිරිවැයකින් ස්ථාපිත කරන ලද සිව්වන හෘද කැතීටකරණ රසායනාගාරය පසුගියදා ප්‍රතිකාර සේවා සඳහා එක් කෙරුණා.
නව රසායනාගාරය විවෘත කිරීමෙන් අනතුරුව සිදුකළ පළමු කිරීටක ධමනි රූපගත කිරීමේ පරීක්ෂණයේදී හඳුනාගත් ධමනි අවහිරතාවකට අදාළව ස්ටෙන්ට් බද්ධ කිරීමේ ප්‍රතිකාරය ද සාර්ථකව සිදුකර තිබෙනවා.
ඒ අනුව, රසායනාගාරය විවෘත කළ දිනයේදීම රෝගියෙකුට අවශ්‍ය විශේෂඥ හෘද ප්‍රතිකාර ලබාදීමට හැකිවීම විශේෂත්වයක්.
සිව්වන හෘද කැතීටකරණ රසායනාගාරය ද ප්‍රතිකාර සේවාවට එක්වීමත් සමඟ කොළඹ ජාතික රෝහලේ දෛනික ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සිදුකිරීමේ ධාරිතාව තුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, මීට පෙර දිනකට සිදුකළ පරීක්ෂණ 20ක පමණ සංඛ්‍යාව මේ වන විට දිනකට පරීක්ෂණ 60ක් දක්වා ඉහළ නැංවීමට හැකිව තිබෙනවා.
මෙම රසායනාගාරය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ආසියානු සංවර්ධන බැංකුව මගිනුයි.
වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව මෙරට සෞඛ්‍ය සේවාවේ විශේෂඥ ප්‍රතිකාර පහසුකම් පුළුල් කිරීමේ වැඩපිළිවෙළ යටතේ හෘද රෝග ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කර ඇත. ඒ අනුව, මෙම වර්ෂය තුළදී කොළඹ ජාතික රෝහලේ නව හෘද කැතීටකරණ රසායනාගාර තුනක්, මහනුවර ජාතික රෝහලේ නව හෘද කැතීටකරණ රසායනාගාරයක්, ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ නව හෘද කැතීටකරණ රසායනාගාර ද්විත්වයක්, කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සහ යාපනය ශික්ෂණ රෝහලේ එක් රසායනාගාරය බැගින් ද මේ වන විට ස්ථාපිත කර ප්‍රතිකාර සේවාවන් ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම බදුල්ල ශික්ෂණ රෝහලේ නව හෘද කැතීටකරණ රසායනාගාරය මේ වන විට ස්ථාපිත කෙරෙමින් පවතින අතර, එය ලබන මාසයේදී ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීමට නියමිතයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ආසියානු සංවර්ධන බැංකුව සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) යන ආයතනවල මූල්‍ය සහයෝගීතාවයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.
මෙම රසායනාගාර සඳහා ස්ථාපිත කර ඇති උසස් තාක්ෂණයෙන් යුත් කැතීටකරණ පද්ධතිවල කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ තත්කාලීන රූපකරණ තාක්ෂණය ඇතුළත්.
ඒ අනුව, ෆ්ලුරොස්කොපි (Fluoroscopy) ක්‍රියාවලියේදී විකිරණ නිරාවරණය සැලකිය යුතු ලෙස අවම කරමින් ඉහළ ගුණාත්මකභාවයකින් යුත් රූප ලබාගැනීමේ හැකියාව පවතිනවා.
විශේෂයෙන්ම, Cine රූපගත කිරීම් සිදු නොකරන අවස්ථාවලදී පවා පැහැදිලි හා උසස් තත්ත්වයේ රූප ලබාගත හැකිවීම හේතුවෙන් වෛද්‍යවරුන්ට වඩාත් ආරක්ෂිතව හා විශ්වාසදායක ලෙස සංකීර්ණ ප්‍රතිකාර ක්‍රියාපටිපාටි සිදුකිරීමට පහසුකම් සැලසෙනවා.
මෙම පද්ධතිවල ඇති සුවිශේෂී තාක්ෂණික අංගයක් වන සජීවී ත්‍රිමාණ ස්ටෙන්ට් දෘශ්‍යකරණ තාක්ෂණය (Dynamic Stent Visualization – DDS) මගින් අතිරේක රූපගත කිරීම් අවශ්‍යතාව අවම කරමින් ෆ්ලුරොස්කොපි ක්‍රියාවලිය අතරතුරම ස්ටෙන්ට්වල පිහිටීම හා ව්‍යුහය ඉහළ විස්තරාත්මකත්වයකින් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබෙනවා.
එමගින් විකිරණ නිරාවරණය අවම කිරීමට මෙන්ම සංකීර්ණ කිරීටක ධමනි මැදිහත්වීම් (Percutaneous Coronary Intervention – PCI) සහ ස්ටෙන්ට් බද්ධ කිරීමේ ක්‍රියාපටිපාටි වඩාත් කාර්යක්ෂමව සිදුකිරීමට ද සහාය හිමිවනවා.
තවද, හදිසි හෘදයාබාධ (STEMI) තත්ත්වයන් සඳහා ලෝකයේ පිළිගත් විශිෂ්ටතම ප්‍රතිකාර ක්‍රමය වන, රෝගියා වෛද්‍ය සේවාවකට යොමු වූ මොහොතේ සිට විනාඩි 120ක් ඇතුළත අවහිර වූ කිරීටක ධමනි යථා තත්ත්වයට පත්කර ස්ටෙන්ට් බද්ධ කිරීමේ ප්‍රාථමික ප්‍රතිකාර ක්‍රමවේදය (Primary Percutaneous Coronary Intervention – Primary PCI) මෙරට සියලු පුරවැසියන්ට ලබාදීමට අපේක්ෂා කෙරෙනවා.
හෘද පේශිවලට සිදුවන ස්ථිර හානි වළක්වා ජීවිත බේරාගැනීමට තීරණාත්මක වන මෙම ජාත්‍යන්තර ප්‍රමිතිය, දිවයින පුරා හෘද කැතීටකරණ රසායනාගාර පහසුකම් ව්‍යාප්ත කරමින්, 1990 සුව සැරිය ගිලන්රථ සේවාව සහ ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (Sri Lanka College of Cardiology) සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
දිවයින පුරා මෙවැනි උසස් හෘද කැතීටකරණ පහසුකම් ව්‍යාප්ත කිරීම තුළින් හෘද රෝගීන්ට ප්‍රතිකාර සඳහා දුර බැහැර රෝහල් වෙත යාමට ඇති අවශ්‍යතාව අවම කිරීමටත්, විශේෂඥ ප්‍රතිකාර සඳහා පවතින පොරොත්තු කාලය අඩු කිරීමටත් හැකිවනු ඇති.
විශේෂයෙන්ම හදිසි හෘදයාබාධ තත්ත්වයන්හිදී කඩිනම් වෛද්‍ය මැදිහත්වීම් සිදුකිරීමේ හැකියාව ශක්තිමත් කිරීම මගින් හෘද රෝග ආශ්රිත මරණ හා සංකූලතා අවම කිරීමට ද මෙම වැඩපිළිවෙළ දායක වනු ඇති.










