රාජ්‍ය සේවකයා යම් මැසිවිල්ලක් නගනවා මේ අයවැය තුළින් ඔවුන්ට යම් අකටයුත්තක් සිද්ධ වෙනවා කියලා, එය රජයක් ලෙස හඳුනගෙන තිබෙන බවත්, වැටුප් කොමිසම හරහා ඔවුන්ට ඒ සඳහා විසඳුම් ලබා දෙන බවත් බුද්ධ ශාසන අගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගම ගෙදර දිසානායක ප්‍රකාශ කරනවා.
පරිප්පු කීයකින් අඩු වෙනවද, සීනි කියකින් අඩු වෙනවද, අරක්කු කීයකින් වැඩි වෙනවද, කියලා සරල කාරණා මීට පෙර අයවැය තුළින් ජනතාව බලාපොරොත්තු උන බව ඔහු පෙන්වා දෙනවා.
ඒ වගේම මේ අයවැය ඉදිරිපත් කිරීම තුළින් රාජ්‍ය සේවකයා යම් යම් වැසිවිලි නගන්න කටයුතු කරන බව නිරීක්ෂණය කළ බවත්, රජයක් හැටියට මේ මොහොතේ ඔවුන්ගේ ගැටලු හඳුනාගෙන තිබෙන බවත්, ඒ සඳහා වැටුප් කොමිසම හරහා ඔවුන්ට විසඳුම් ලබා දීමට පියවර ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා.
කලබල වෙච්ච නන්නත්තාර වූ විපක්ෂය දැන් තැන් තැන්වල දහ පහළොස් දෙනෙක් එකතු කරගන්න උද්ඝෝෂණ කරන බවත්, මාධ්‍ය සාකච්ඡා තියෙනවා මේ වගේ සංදර්ශන දාගෙන මේ විපක්ෂයට තව හුඟාක් කාලයක් කටයුතු කරන්න පුළුවන් වෙන බවත් ඔහු සඳහන් කරනවා.
විපක්ෂයට 2029 දී හෝ ඊට පසුව හෝ බලය ලබා ගැනීමට අවශ්‍ය නම් , කළ යුතුව තිබෙන්නේ තැන් තැන් වලට කුඩා කුඩා කණ්ඩායම් එක් කර මේ සිල්ලර, පදනම් විරහිත කතා කියන එක නොවන බවත්, ජනතාව තුළ විශ්වාසය හදලා පවතින පාලනයටත් වඩා හොඳ කැපකිරීම් කරන්න පුළුවන් දේශපාලන සංස්කෘතියක් හදන්න කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කරනවා.
විපක්ෂයේ මේ සිදුකරන කුඩා කුඩා කණ්ඩායම් එක් රැස්කර, විප්ලවාදී කටයුතු සිදු කිරීම තුළින් ජනතාව ඔවුන්ට බලය ලබාදීම පිළිබඳව හිතන්නේ වත් නැති බව නම් රජයට විශ්වාස බවත් ඔහු සඳහන් කරනවා.
