කාවන්තිස්ස හස්තියාගේ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් රවින්ද්‍ර රංජන් බණ්ඩාර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨයේ මහචාර්ය ආර්.ආර්.එමි.කේ.කේ. විජේසුන්දර වෙත නියෝග කර තිබෙනවා.
එමෙන්ම එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා, මිගලෑව වනජීවි අඩවි ආරක්ෂක වීරකෝන්ටද නියෝග කරනු ලැබුවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශුවෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨයේ මහාචාර්ය ආර්.ආර්.එම්.කේ.කේ. විජේසුන්දර විසින් අධිකරණයට එවා තිබූ කාවන්තිස්ස හස්තියාගේ අතුරු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා ඊයේ (23) මෙම නියෝගය සිදුකර තිබෙනවා.
එහිදී මහේස්ත්‍රාත්වරයා පැවසුවේ, මහාචාර්යවරයාගේ අතුරු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තුළ ප්‍රශ්ණාර්ථයක් පවතින බවයි.
ඊට හේතුව මෙම අතුරු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව කාවන්තිස්ස හස්තියාගේ මරණයට ශරීරයේ තිබූ නිදන්ගත තුවාල තුන බලපා නොමැති බවද ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා, උදරයේ දකුණු පස වෙඩි ප්‍රහාර තුනක සලකුනු සහ ඒ තුළ මූනිස්සම් තුනක් තිබී ඇති බවත්, එහෙත් එම වෙඩි ප්‍රහාර හෝ මූනිස්සම් හේතුවෙන් ශරිරයේ අභ්‍යන්තර අවයවවලට හෝ ඉන්ද්‍රියන්වලට කිසිදු හානියක් සිදුව නැති බවද ප්‍රකාශ කර තිබෙනවා.
වනජීවි ඡායාරූපශිල්පි පැතුම් බණ්ඩාරගේ උපදෙස් මත කාවන්තිස්ස හස්තියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය දීර්ඝව කරුණු දක්වමින් පැවසුවේ කාවන්තිස්ස හස්තියාගේ ශරීරයේ විෂබීජ සහ විෂ තිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු කර ඇති බවයි.
වෙඩිතැබීමිවලින් සහ විවිධ අනතුරුවලින් මෙරට අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් මියයන බවද ප්‍රකාශ කළ ජනාධිපති නීතිඥවරයා, එම තත්ත්වය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දැඩිව බලපා ඇති බව ද ප්‍රකාශ කළා.
