Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අයවැය විවාදය යන අතරේම තවත් කෙටුම්පත් තුනක් විවාදයට ගනී

අයවැය විවාද කාල සීමාව තුළ පනත් කෙටුම්පත් ත්‍රිත්වයක දෙවැනිවර කියවීමේ විවාදයන් පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර ප්‍රකාශ කරනවා.

පසුගිය (20) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව, ‍හෙට (23) සඳුදා පෙරවරු 11.00 සිට පස්වරු 6.00 දක්වා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනීමෙන් අනතුරුව, පස්වරු 6.00 සිට 6.30 දක්වා විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය කර ඇති බවට වාර්තාවෙනවා.

එමෙන්ම, දෙසැම්බර් 5 වැනි සෙනසුරාදා පෙරවරු 11.00 සිට පස්වරු 6.00 දක්වා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතයි.

ඉන් අනතුරුව පස්වරු 6.00 සිට රාත්‍රී 9.00 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට ද තීරණය කර තිබෙනවා.

දෙසැම්බර් 7 වැනි සඳුදා පෙරවරු 11.00 සිට පස්වරු 6.00 දක්වා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහ කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිත බවත් වාර්තාවෙනවා.

ඉන් අනතුරුව පස්වරු 6.00 සිට 6.30 දක්වා ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාව සහ තෙවැනිවර කියවීම පැවැත්වීමට ද තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ඉහත සඳහන් දිනයන්හිදී සභාව කල් තබන අවස්ථාවේ යෝජනා විවාදයට නොගැනීමටත් තීරණය කර ඇති බවට වාර්තාවෙනවා.