ඥානසාර හිමිට නැවත සිවුරු පොරවන්න දිනයක් හා වේලාවක් ඉල්ලා ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමිගෙන් බන්ධනාගාරයට ලිපියක්

සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නැවත සිවුරු පෙරවීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

නාහිමියන් විසින් පසුගිය ඔක්තෝබර් 30 වන දින අදාළ ලිපිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කටයුතු ධර්ම විනයානුකූලව සිදුකළ යුතු බැවින් හැකි ඉක්මනින් දිනයක් සහ වේලාවක් ලබාදෙන ලෙස අදාළ ලිපිය මගින් දැන්ව යවා තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය පහසුකම් සූදානම් කර තමන් වහන්සේ වෙත දැනුම්දෙන ලෙස ද ඉල්ලා ඇති අතර, ලිපියේ පිටපතක් වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාටද යොමු කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර මේ සම්බන්ධයෙන් ‘දසත නිවුස්’ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් විමසා සිටියා.

එහිදී කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන්ගේ ලිපිය තමා වෙත ලැබුණු බවයි.

ඒ, අනුව ඊට උපදෙස් ලබාදෙන ලෙස ඉල්ලා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත ලිඛිත දැනුම්දීමක් මේ වන්විටත් සිදුකර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.