ලක්ෂ්මන් යාපාගේ ලක්ෂ 10ක අල්ලස් නඩුවේ විත්තියේ විභාගය ලබන 30 වනදා

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියනයක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තියේ විභාගය ලබන 30 වන දින කැඳවිමට කොළඔ මහාධිකරණය අද (09) නියෝග කළා.

සිද්ධියට අදාළව විත්තිවාචකය කැඳවිමෙන් තොරව විත්තිකරුව නිදහස් කරන ලෙස අධිකරණයට කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් අද (09) ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල හමුවේ නඩුව කැඳවු අවස්ථාවේ දීයි.

සිද්ධියට අදාළ නඩුවේ විත්තිවාචකය කැඳවිමෙන් තොරව විත්තිකරු නිදොස් කරන ලෙස විත්තිකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයා විසින් පෙර නඩු දිනයේ දී කරන ලද ඉල්ලීමට අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා මෙලෙස නියෝග කළා.

සිය නියෝගය කියවා දෙමින් විනිසුරුවරයා පවසා සිටියේ රාජකාරි කටයුත්තක් අතරතුර දී පැමිණිල්ලේ සාක්ෂිකරුට මිලියන 10 ක මුදලක් ලබා දී ඇති බවට පැමිණිල්ලේ සාක්ෂිකරුට සාක්ෂි විභාගය අතරතුර ප්‍රකාශයක් ලබා දී ඇති බවයි.

එම ලබාදුන් ප්‍රකාශ අනුව එම මුදල පන්සලක් ආරම්භ කිරීමට ලබා දුන් බවත්, තවද එම ලබා දුන් ලක්ෂ 10 ක චෙක්පත මුදල් බවට පත් කරවා ගැනීම සම්බන්ධයෙන් වගකීම පැහැදිලි කර ගත යුතු බැවින් විත්තිවාචකය කැඳවිම අවශ්‍ය බව එම නියෝගයේ දක්වා තිබුණා.

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියනයක අල්ලසක් ලබා ගත් බවට චෝදනා කරමින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව කොළඹ මහාධිකරණයේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අදාළ කටයුත්තක් සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙම අල්ලස ලබාගත් බවට චෝදනා එල්ල වී තිබෙනවා.

පැමිණිල්ලට අනුව, හිටපු අමාත්‍යවරයා විසින් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇත්තේ පසුගිය 2013 වසරේදී බවයි දක්වා තිබුණේ.

අදාළ ව්‍යාපාරිකයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව දීර්ඝ විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව, අල්ලස් කොමිසම විසින් මෙම නඩු පැවරීම මහාධිකරණය හමුවේ පවරා තිබෙනවා.