අධිකරණය දෙනු ලැබූ නියෝග ඉටු නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණය හෑල්ලුවට ලක් කොට ඇති බවට තීරණය කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළ ගම්පහ මහේස්ත්රාත් බන්දුල ගුණරත්න මහතාට වහාම ක්රියාත්මක වන පරිදි ස්ථානමරුවක් ලබා දී තිබෙනවා.
ඒ, අනුව ඔහුව විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත මාරුකර ඇති බවයි වාර්තා වුණේ.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්රසන්න අල්විස් විසින් ගම්පහ මහේස්ත්රාත්වරයා ස්ථාන මාරු කරමින් අදාළ ලිපිය නිකුත් කර තිබෙනවා.
අහිංසක රටවැසියන්ට එරෙහිව නිස්සාරණ නඩු පැවරීමක් නොකරන ලෙසට සමස්ත පොලිස් නිලධාරීන් ම ආවරණය වන අන්දමට චක්ර ලේඛනයක් නිකුත් කරන ලෙස මහේස්ත්රාත්වරයා මීට පෙර අවස්ථාවක පොලිස්පතිවරයාට නියම කර තිබුණා.
ඒ අනුව පොලිස්පතිවරයා විසින් කටයුතු නොකිරීම හේතුවෙන් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කටයුතු කරන ලෙස අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබුණා.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් ගම්පහ මහේස්ත්රාත්වරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර, එම පැමිණිල්ලට අදාළ නිරීක්ෂණයක් නම් ඉදිරිපත් කරන ලෙස අධිකරණ සේවා කොමිසම විසින් මහේස්ත්රාත්වරයාට දැනුම් දී ඇති බවයි වාර්තා වුණේ.
මහේස්ත්රාත්වරයා විසින් අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු වහාම ක්රියාත්මක වන පරිදි විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු කර තිබෙනවා.
