පෙරපාසල් ගුරුවරුන් 35,000කට නොමිලේ ජාතික මට්ටමේ පුහුණුවක්

දිවයිනේ හඳුනාගෙන ඇති පෙරපාසල් ගුරුවරුන් 35,000කට ආසන්න පිරිසකට මුල් ළමාවිය අධ්‍යාපන විෂයමාලා රාමුව පිළිබඳ ජාතික මට්ටමේ පුහුණුවක් නොමිලේ ලබාදීමට රජය පියවර ගෙන තිබෙන බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන ප්‍රකාශ කරනවා.

කිසිදු පෙරපාසල් ගුරුවරයෙකු අතනොහැර මෙම පුහුණුව ලබාදීම රජයේ අරමුණ බව ඔහු සඳහන් කරනවා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ සහ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ දායකත්වය ද ලබාගැනීමට අපේක්ෂා කරනවා.

ජාතික පුහුණු ක්‍රමවේදයක් යටතේ අදියර කිහිපයකින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මගින් ජාතික මට්ටමේ ප්‍රධාන පුහුණුකරුවන් 108 දෙනෙකු සහ පළාත් මට්ටමේ පුහුණුකරුවන් 556 දෙනෙකු සූදානම් කිරීමට නියමිත බවට වාර්තාවෙනවා.

එක් පෙරපාසල් ගුරුවරයෙකු වෙනුවෙන් දින 10ක පුහුණු කාලයක් වෙන්කර තිබෙනවා.

මේ වන විට පළාත් අටක පුහුණු වැඩසටහන ආරම්භ කර තිබෙන අතර, සබරගමුව පළාතේ පුහුණු වැඩසටහන නොවැම්බර් 11 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා පිළිබඳව ද මෙම වැඩපිළිවෙළ යටතේ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

පෙරපාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, විධිමත් විෂයමාලාවක් හඳුන්වාදීම සහ ගුරුවරුන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය කිරීම මෙම ජාතික වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණු බව ද වෛද්‍ය නාමල් සුදර්ශන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.