ශ්‍රී ලංකාවේ ධීවර හා සමුද්‍රීය ක්ෂේත්‍රයේ නව පුනරුදයකට කොරියාවෙන් අතහිත

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ නූතන ප්‍රවර්ධනය උදෙසා කොරියානු රජයේ පූර්ණ සහයෝගය ලබාදීමට කොරියානු පාර්ශ්වය මූලික එකඟතාව පළ කර තිබෙන බවට වාර්තාවෙනවා.

“සාගර සහ ධීවර ODA සඳහා නව මාවතක්:තාක්ෂණය, ප්‍රජාවන් සහ ජනතාව සම්බන්ධ කිරීම” යන කාලීන තේමාව යටතේ දකුණු කොරියාවේ පැවති කොරියානු සමුද්‍රීය ආයතනය (KMI) විසින් සංවිධානය කරනු ලැබූ 2026 සාගර සහ ධීවර කටයුතු පිළිබඳ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා සමුළුව (KICCOF – 2026) සහ BADA (Best Achievements in Oceans and Fisheries ODA) සමුළුව සඳහා රටවල් 11 ක් නියෝජනය කරමින් රජයේ නිලධාරීන් සහ ප්‍රවීණයන් ඇතුළු නියෝජිතයින් 100 කට ආසන්න පිරිසක් සහභාගී වුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්‍ය බී.කේ. කෝලිත කමල් ජිනදාස එම සමුළුවට සහභාගී වී සිටිනවා.

මෙහිදී පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා අතරතුර, ශ්‍රී ලංකාවට ආවේණික ධීවර කර්මාන්තය සහ නව ප්‍රවණතාවයක් වන ධීවර සංචාරක කර්මාන්තය (Fisheries Tourism) ප්‍රවර්ධනය වෙනුවෙන් සමුද්‍රීය ආයෝජන මෙරටට ගෙන ඒමට කොරියානු රජයේ සහ ජාත්‍යන්තරයේ සහයෝගය ලබා ගැනීම පිළිබඳව ලේකම්වරයා විසින් විශේෂ අවධානයක් යොමු කරන තිබෙනවා.

විශේෂයෙන්ම, සමුද්‍රීය කසළ (Marine Litter) අවම කරමින් මිරිස්ස වරාය, ධීවර හා සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ද කොරියානු පාර්ශ්වය මෙහිදී සිය මූලික එකඟතාව පළ කර ඇති බවට වාර්තාවෙනවා.

ඊට සමගාමීව, 2028 වසර වන විට මෙරට ධීවර ක්ෂේත්‍රයේ පුරෝකථන කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය යොදාගැනීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

තවද, ශ්‍රී ලංකාවේ ජලජීවී වගාව (Aquaculture), සමුද්‍රීය ජෛව ගවේෂණය (Marine Bio-prospecting) සහ නීල ජෛව තාක්ෂණය (Blue Bio-technology) යන අංශවල ආයෝජනය කිරීම සඳහා කොරියානු ආයෝජකයින් වෙත මෙහිදී විවෘත ආරාධනයක් ද සිදු කෙරුණා.

ශ්‍රී ලංකාව සහ කොරියාව අතර අතීතයේ සිට පැවත එන නොබිඳුණු ද්විපාර්ශ්වික මිත්‍රත්වය පිළිබඳව ද මෙම සමුළුවේදී විශේෂයෙන් ආවර්ජනය කරනු ලැබුණා.

ඊට අමතරව, දකුණු කොරියාවේ ප්‍රමුඛ පෙළේ ආයතන වන KMI සහ KIOST ආයතන සමඟ ධීවර අමාත්‍යාංශය පවත්නා සමීප සම්බන්ධතාවය සහ ජාත්‍යන්තර සහයෝගිතාවන්හි ප්‍රතිඵලයන් ලෙස ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ධීවර ක්ෂේත්‍රය ආශ්‍රිතව නව රැකියා අවස්ථා රැසක් උපදවා ඇති බවට ද සිහිපත් කර තිබෙනවා.