විදුලි ප්‍රවාහනයට පිවිසීමට ත්‍රිරෝද රථ හිමියන්ට සහනදායී ලීසිං පහසුකම් සහ බැටරි කුලී පදනම යටතේ ලබාදීමේ නව වැඩපිළිවෙළක් හදුන්වාදී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පැරණිතම බැංකු නොවන මූල්‍ය ආයතනය වන එලායන්ස් ෆිනෑන්ස් සමාගම (AFC), ලංකා ඊ-මොබිලිටි සොලූෂන්ස් සමාගම (Lanka e-Mobility Solutions – LeMS) සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹෙමින්, දිවයින පුරා පෙට්‍රල් බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථ, විදුලි බලයෙන් ක්‍රියාත්මක වන රථ බවට පරිවර්තනය කිරීමේ අවස්ථාව ත්‍රිරෝද රථ හිමියන්ට වඩාත් පහසුවෙන් ලබාගැනීමට නව වැඩපිළිවෙළක් දියත් කරනු ලැබුණා.
මෙම හවුල්කාරිත්වය යටතේ, තම දැනට පවතින ත්‍රිරෝද රථ විදුලි බලයට පරිවර්තනය කිරීමට අපේක්ෂා කරන පාරිභෝගිකයන්ට AFC සමාගම විසින් විශේෂ සහනදායී ලීසිං පහසුකම් සලසනු ලබන අතර, රථ පරිවර්තනය කිරීමේ කාර්යය සහ බැටරි කුලී පදනම යටතේ ලබාදීම LeMS සමාගම විසින් සිදු කරනු ඇත. මේ අනුව, මූල්‍ය පහසුකම් සහ බැටරිය සම්පූර්ණ අත්පිට මුදලට මිලදී ගැනීම වෙනුවට කුලී පදනම යටතේ ලබාගැනීමේ විකල්පය එකට එක් කරමින්, විදුලි ප්‍රවාහනය වෙත යොමුවීමේදී පවතින මූලික මූල්‍ය බාධා අවම කිරීම මෙම වැඩපිළිවෙළෙහි අරමුණයි.
ශ්‍රී ලංකාවේ බොහෝ ත්‍රිරෝද රථ හිමියන්ට තම රථය යනු හුදෙක් ප්‍රවාහන මාධ්‍යයක් පමණක් නොව, ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය ද වෙනවා. විශේෂයෙන් ඉන්ධන සහ නඩත්තු වියදම් හේතුවෙන් දෛනික ආදායමට එල්ල වන පීඩනය හමුවේ, විදුලි ප්‍රවාහනය වෙත යොමුවීම මඟින් වියදම් අවම කරගනිමින් තම ජීවනෝපාය අඛණ්ඩව පවත්වාගෙන යාමට ඔවුන්ට අවස්ථාව සැලසෙනවා.
කෙසේ වෙතත්, සාමාන්‍ය ත්‍රිරෝද රථයක් විදුලි බලයෙන් ක්‍රියාත්මක වන රථයක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය මූලික ආයෝජනය මෙන්ම බැටරිය මිලදී ගැනීමේ පිරිවැය ද බොහෝ හිමිකරුවන්ට සැලකිය යුතු අභියෝගයක් වී තිබෙනවා.
AFC සහ LeMS සමාගම් අතර මෙම හවුල්කාරිත්වය තුළින්, සහනදායී ලීසිං පහසුකම් සහ බැටරි කුලී පදනම යන විසඳුම් දෙකම එකට එක් කරමින් එම අභියෝගයට ප්‍රායෝගික පිළිතුරක් ලබාදීමට අපේක්ෂා කෙරෙනවා.
LeMS සමාගම විසින් දැනට පවතින පෙට්‍රල් බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථවල සාම්ප්‍රදායික එන්ජිම වෙනුවට විදුලි ධාවන පද්ධතියක් (Electric Drivetrain) සවි කිරීම මඟින් ඒවා විදුලි බලයෙන් ක්‍රියාත්මක වන රථ බවට පරිවර්තනය කරනු ලබනවා.
LeMS හි බැටරි කුලී පදනම් ක්‍රමවේදය යටතේ, පාරිභෝගිකයා විසින් රථය පරිවර්තනය කිරීමේ පිරිවැය මූලිකව ගෙවිය යුතු අතර, බැටරිය එකවර මිලදී ගැනීම වෙනුවට එකඟ වූ කාලසීමාවක් සඳහා කුලී පදනම මත ලබාගත හැකිය. අදාළ කොන්දේසි සහ වගකීම් සහතිකයට යටත්ව මෙම කාලසීමාව සාමාන්‍යයෙන් වසර තුනත් පහත් අතර වනවා.
මෙම ක්‍රමවේදය මඟින් බැටරිය මිලදී ගැනීම සඳහා විශාල මුදලක් එකවර වැය කිරීමේ අවශ්‍යතාව ඉවත් වන අතර, ඒ සඳහා දැරිය යුතු පිරිවැය කාලයත් සමඟ බෙදාහදා ගැනීමට පාරිභෝගිකයාට හැකියාව ලැබෙනවා. මීට අමතරව, එලායන්ස් ෆිනෑන්ස් සමාගම විසින් සපයනු ලබන සහනදායී ලීසිං පහසුකම් හරහා රථය පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ද ලබාගත හැකි බැවින්, විදුලි ප්‍රවාහනය වෙත යොමුවීම තවදුරටත් පහසු වෙනවා.
LeMS සමාගම විසින් සිදුකරන ලද ඇස්තමේන්තු අනුව, දෛනිකව ධාවනය කරන දුර ප්‍රමාණය, මෙහෙයුම් තත්ත්වයන් සහ අදාළ රථ පරිවර්තන හා බැටරි කුලී පිරිවැය මත පදනම්ව, ඉන්ධන සහ නඩත්තු වියදම් අඩුවීම හරහා ත්‍රිරෝද රථ හිමියන්ට මසකට රුපියල් 40,000ක් දක්වා ඉතිරියක් ලබාගැනීමේ හැකියාව පවතිනවා. මෙම ඉතිරිය ඔවුන්ගේ දෛනික වියදම් අවම කරගැනීමටත්, ජීවනෝපායේ මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් කරගැනීමටත් උපකාරී විය හැකිය.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ රොමානි ද සිල්වා මෙසේ ප්‍රකාශ කරයි.
“එලායන්ස් ෆිනෑන්ස් හි අප විශ්වාස කරන්නේ තිරසාර මූල්‍යකරණය යනු මිනිසුන්ගේ එදිනෙදා ජීවිතවලට සැබෑ වෙනසක් ගෙන දිය යුතු දෙයක් බවයි. මෙම හවුල්කාරිත්වය විදුලි වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට පමණක් සීමා වූවක් නොවේ. එය AFC හි උපායමාර්ගික අරමුණු අතරින් එකක් වන ‘තිරසාර ප්‍රවාහන විසඳුම් කරා මෙහෙයවීම’ යන අරමුණට සෘජුවම දායක වන වැඩපිළිවෙළක් ද වෙනවා.
පෙට්‍රල් ඉන්ධන භාවිතයෙන් ධාවනය වන ත්‍රිරෝද රථ විදුලි බලයට පරිවර්තනය කිරීම තුළින් ප්‍රවාහන ක්ෂේත්රයේ කාබන් විමෝචනය අවම කිරීමටත්, පාරිසරික තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීමටත් අපට හැකියාව ලැබෙනවා. එමෙන්ම, කාර්යක්ෂම හා පරිසර හිතකාමී ප්‍රවාහන විකල්පයටද මෙය පිළිතුරක් වනවා.
ඒ වගේම, මෙය ජීවනෝපායන්ට සහාය වීම පිළිබඳව ද වන අතර, පිරිසිදු හා වඩාත් ලාභදායී විය හැකි ප්‍රවාහන ක්‍රමයක් වෙත පාරිභෝගිකයන් යොමු කිරීමටත්, වඩාත් තිරසාර දේශයක් ගොඩනැඟීමට දායක වීමටත් අපට අවස්ථාව සලසනවා. ‘තිරසාර මූල්‍යකරණය තුළින් ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත් කිරීම’ යන අපගේ අරමුණු ප්‍රකාශයට ශක්තියක් ගෙනදීමේ තවත් පියවරක් ලෙස මෙම හවුල්කාරිත්වය හැඳින්විය හැකියි.”
Lanka E-Mobility Solutions (Pvt) Ltd හි අධ්‍යක්ෂිකා, නතාෂා සිල්වා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසුවාය.
“බොහෝ ත්‍රිරෝද රථ හිමියන්ට තම රථය යනු ඔවුන්ගේ ජීවනෝපායයි. විදුලි ප්‍රවාහනය වෙත මාරුවීම ප්‍රායෝගික සහ පහසුවෙන් ළඟා විය හැකි විකල්පයක් බවට පත් කිරීම අපගේ අරමුණයි. අපගේ රථ පරිවර්තන තාක්ෂණය සහ බැටරි විසඳුම්, එලායන්ස් ෆිනෑනස් සමාගමේ මූල්‍යකරණ විශේෂඥතාව සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය සමඟ එක් කිරීමෙන්, ලාංකික ත්‍රීරෝද රථ හිමියන්ට විදුලි ප්‍රවාහනයේ ප්රතිලාභ අත්විඳීමට අවස්ථාව සලසා දීමට අපි බලාපොරොත්තු වෙනවා.”
හරිතාගාර වායු විමෝචනය අවම කිරීම, නාගරික වායු ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ බලශක්ති තිරසාරත්වය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්හිදී ප්‍රවාහන ක්ෂේත්රයට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. පරිසර හිතකාමී ප්‍රවාහන විකල්ප වෙත පිවිසීම වඩාත් පහසු කරන මෙවැනි වැඩපිළිවෙළවල්, වාහන හිමියන්ට ප්‍රායෝගික ප්රතිලාභ ලබාදෙන අතරම, රටේ පුළුල් පාරිසරික අරමුණු සාක්ෂාත් කරගැනීමට ද දායක වෙනවා.
මෙම සහයෝගීතාව තුළින්, විදුලි ත්‍රිරෝද රථ භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා රථ පරිවර්තනයට අදාළ ප්‍රධාන මූල්‍යමය හා ප්‍රායෝගික බාධා අවම කිරීමට එලායන්ස් ෆිනෑනස් සමාගම සහ LeMS සමාගම අපේක්ෂා කරනවා. ත්‍රීරෝද රථ හිමියන්ගේ ජීවනෝපායන්ට සහාය වීම, වගකීම්සහගත ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීම සහ පාරිභෝගිකයන්ට, ප්‍රජාවන්ට මෙන්ම පරිසරයට ද ධනාත්මක ප්‍රතිඵල උදාකර දීම සඳහා දෙපාර්ශ්වයේම ඇති පොදු කැපවීම මෙම හවුල්කාරිත්වය තුළින් පිළිබිඹු වෙනවා.
එලායන්ස් ෆිනෑනස් සමාගම
1956 වසරේදී ස්ථාපිත එලායන්ස් ෆිනෑනස් සමාගම, ශ්‍රී ලංකාවේ පැරණිතම බැංකු නොවන මූල්‍ය ආයතනය වන අතර, ත්‍රිත්ව ලාභදායිත්ව දර්ශනය (People, Planet, Profit) සිය ව්‍යාපාරික දර්ශනය ලෙස පිළිගත් මෙරට ප්‍රථම මූල්‍ය සමාගම ද වෙනවා
එමෙන්ම, තිරසාරත්ව සහතිකය ලත් ශ්‍රී ලංකාවේ එකම මූල්‍ය ආයතනය වන්නේද එලායන්ස් ෆිනෑනස් සමාගමයි.
තිරසාර මූල්‍යකරණ ක්ෂේත්රයේ ජාත්‍යන්තර පිළිගැනීමට ලක්ව ඇති සමාගම, ආර්ථික, සමාජීය සහ පාරිසරික වශයෙන් දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කරන නවෝත්පාදන මූල්‍ය විසඳුම් හරහා පුද්ගලයන්, ව්‍යාපාර සහ ප්‍රජාවන් සවිබල ගැන්වීම සඳහා AFC සමාගම අඛණ්ඩව කැපවී සිටිනවා.
Lanka E-Mobility Solutions (Pvt) Ltd (LeMS) –
LeMS සමාගම යනු පෙට්‍රල් බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන රථ බවට පරිවර්තනය කිරීමේ සේවා සපයන සමාගමකි. වේගවත් ආරෝපණ යටිතල පහසුකම්වලින් සහාය ලබන බැටරි සේවා විසඳුම් ද සමාගම විසින් පිරිනමනු ලබයි. බැටරියක් මිලදී ගැනීම සඳහා විශාල මූලික ආයෝජනයක් දැරීමකින් තොරව, ත්‍රිරෝද රථ රියදුරන්ට විදුලි ප්‍රවාහනය වෙත පිවිසීමේ අවස්ථාව සලසා දීම LeMS හි මෙහෙවරයි.
