මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නවදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අද ( නොවැම්බර් 05) අවසන් කර තිබෙනවා.
කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම අවසන් කරමින් සිය ස්ථාවරය අධිකරණයට දැනුම් දුන්නා.
අනතුරුව විත්තියේ නීතිඥවරුන් විසින් පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශවල පැවති බව කියන අතහැරීම් (Omissions) අධිකරණය හමුවේ ඉදිරිපත් කළා.
මෙහිදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) වගන්තිය යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කරුණු මතු වී ඇති අතර, අදාළ ඉල්ලීම ඉදිරිපත් කරන බව දැනුම් දී තිබෙනවා.
නඩුව අද (05) සභාපති විනිසුරු නයනා සෙනවිරත්න, නලින් හේවාවසම්, ලක්මාලි හේවාවසම් යන ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 121/1 විජේරාම මාවත, කොළඹ 7 පිහිටි ලිපිනයේ ස්ථාපිත වූ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාගයට ගනු ලැබුණා.
පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වූ අවස්ථාවකදී, පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්ෂිවලින් විත්තිකරුවන්ට එරෙහි චෝදනා තහවුරු කිරීමට ප්‍රමාණවත් පදනමක් නැති බව පෙන්වා දී විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටීමට 200(1) වගන්තිය අදාල වෙනවා.
එවැනි ඉල්ලීමක් සලකා බලා පැමිණිල්ලේ සාක්ෂි ප්‍රමාණවත් නොවන බව අධිකරණය තීරණය කළහොත් විත්තිය කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කළ හැකි අතර, ප්‍රමාණවත් පදනමක් තිබේ නම් විත්තිය කැඳවන්නට හැකිවෙනවා.
ඒ අනුව නඩුවේ වැඩිදුර කටයුතු හෙට (නොවැම්බර් 06) වැනිදා දක්වා කල් තබා තිබෙනවා.
2010 වසරේ ජනවාරි මස මස 24 වනදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නීතිපතිවරයා දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.
ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්.ඩී . උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි), චමින්ද කුමාර අබේරත්න, කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ, ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනා මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර තිබෙනවා.
ඉකුත් දා මෙම නඩුවට හිටපු බුද්ධි අංශ ප්‍රධානියා වන දැනට පාස්කු නඩුවට ආදාලව රැඳවුම් භාරයේ සිටින සුරේෂ් සලේද සාක්ෂි ලබා දුන්නා.
