වසර සියයකට පසු ඉන්දියාවට ලැබුණු සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයට තැබේ

වසර සියයකට අධික කාලයකට පසු ඉන්දියාවට යළි රැගෙන ආ ශාක්‍යමුණි බුදුන් වහන්සේගේ පූජනීය ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ මෙම ධාතූන් වහන්සේ පසුගිය සඳුදා අරුනාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ තවාන්ග් ප්‍රදේශයට වැඩම කරවනු ලැබුවා.

ඉන්දියාවේ සංස්කෘතික අමාත්‍යාංශය, අරුනාචල් ප්‍රදේශ් ප්‍රාන්ත රජය, ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය සහ නවදිල්ලි ජාතික කෞතුකාගාරය එක්ව මෙම ප්‍රදර්ශනය සංවිධාන කරනවා.

ඒ අනුව තවාන්ග්, බොම්ඩිලා සහ නාම්සායි යන ප්‍රදේශවලදී බැතිමතුන්ට ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව සැලසෙනවා.

මෙම ධාතූන් වහන්සේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිප්‍රහ්වා පුරාවිද්‍යාත්මක ස්ථානයෙන් හමුවූ ඒවා වන අතර, එම ස්ථානය පුරාණ කපිලවස්තුව හා ශාක්‍ය වංශය සමඟ සම්බන්ධ වනවා.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත්තේ, බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේ යළි ඉන්දියාවට වැඩමවීම අතිශය අභිමානවත් සහ සතුටුදායක අවස්ථාවක් බවයි.

එමෙන්ම මෙම ප්‍රදර්ශනය මඟින් ඉන්දියාවේ බෞද්ධ උරුමය සහ බුදුදහමේ විශ්වීය දර්ශනය පිළිබඳ අවබෝධය තවදුරටත් පුළුල් වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කර තිබෙනවා.

මේ අතර, ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයට සමගාමීව බෞද්ධ දර්ශනය හිමාල කලාපය තුළ සහ ඉන් ඔබ්බට ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් ද නොවැම්බර් දෙවැනිදා තවාන්ග්හිදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රදර්ශනය අවසන් වීමෙන් පසු නොවැම්බර් 21 වැනිදා ධාතූන් වහන්සේ යළි නවදිල්ලි ජාතික කෞතුකාගාරය වෙත වැඩමවීමට නියමිතයි.