විහාරමහා දේවියේ නීතිවිරෝධි ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය-සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග

සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බලකරමින් විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ පැවැති විරෝධතාවයේදී නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා කුරුඳුවත්ත පොලිසියට නියෝග කළා.

පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් කරුණු දක්වමින් කියා සිටියේ, විහාරමහාදේවි උද්‍යානයේ රැඳී සිටින ස්වාමීන් වහන්සේලා සහ සිවිල් ක්‍රියාකාරීන් අධිකරණ නියෝග නොතකමින් අඛණ්ඩව විරෝධතාවයේ නිරත වූ අතර එම විරෝධතාව අතරතුර කිසිදු නීත්‍යානුකූල අවසරයක් හෝ බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කර ඇති බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් නිලධාරීහු අධිකරණයට වැඩිදුරටත් දන්වා සිටියා

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, බලපත්‍ර රහිතව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිසියට නියෝග කළා.

අදාළ විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා කුරුඳුවත්ත පොලිසියට වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.