කපිල චන්ද්‍රසේනගේ දුරකතනය ගැන ඇපල් සමාගමෙන් විශේෂ දැනුම්දීමක්

අභිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණ පරික්ෂණයට අදාළ රස පරීක්ෂක වාර්තාව, මේ වන තෙක් කොළඹ අපරාධ කොට්ඨාශයට ලබා දීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස රජයේ රස පරීක්ෂකට අද (04) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළා.

තවද සම්පුර්ණ මරණ පරීක්‍ෂණ වාර්තාව ලබා දීමට අධිකරණ වෛද්‍යවරයාට මහේස්ත්‍රාත්වරයා නොතිසි නිකුත් කළා.

කපිල චන්ද්‍රසේන මියගිය ස්ථානයේ තිබී සොයා ගන්නා ලද ඖෂධ වර්ග හතර සම්බන්ධයෙන් ලැබිය යුතු රස පරීක්ෂක වාර්තාව මේ වෙන තෙක් ලැබී නොමැති බවත්, අනෙක් වාර්තාවන් ලැබී ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටි අවස්ථාවේදි මෙලෙස නියෝග කළා.

කපිල චන්ද්‍රසේනගේ ඇපල් ජංගම දුරකතනයේ දත්ත තවත් මාස තුනක කාලයකට සංරක්ෂණය කරන බවට ඇපල් සමාගම ඊමේල් හරහා දැනුම් දී ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාශය මහේස්ත්‍රාත්වරයා හමුවේ දන්වා සිටියා.

අධිකරණය නියෝග ප්‍රකාරව සිදු කළ ඉල්ලීමට අදාළව පිළිතුරු ලැබී ඇති ඇති බව වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් පොලීසිය දන්වා සිටියා.

ජංගම දුරකතනයේ දත්ත ලබා ගැනීමට සිංගප්පූරුවේ සමාගමක් ඇතුළු ආයතන දෙකකින් ඉල්ලීම කර ඇති බව කියා සිටි පොලිසිය, ඊ සිම්පත සාමාන්‍ය සිම් පතක් ලෙස මුදා හැරීමට ඩයලොග් සමාගම නියෝග නිකුත් කරන ලෙස කළ ඉල්ලීමට අවසර ලැබුණා.

වැඩිදුර වාර්තා සදහා නඩුව ලබන දෙසැම්බර් මස 02 තෙක් කල් තැබුවා.