අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගනී

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම් 26 ක් සම්බන්ධ විභාගය මේ වන විට ආරම්භවී තිබෙනවා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා.

මෙම කෙටුම්පත අභියෝගයට ලක් කරමින් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර තිබෙන පෙත්සම් සංඛ්‍යාව 26කි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව ගණනාවක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් විධිවිධානවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බව අදාළ පෙත්සම්වලින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව අදාළ විධිවිධාන සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත වී ජනමත විචාරණයකින්ද එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.