ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර පාලන බලය තහවුරු කරගැනීම වෙනුවෙන් පැවැත්වෙන තීරණාත්මක කොංග්රස් මණ්ඩල මැතිවරණයේ ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් (GOP) පක්ෂය පසුබෑමකට ලක්වී සිටින බවට වාර්තාවේ.
මේ දක්වා ප්‍රකාශිත මූලික ප්‍රතිඵල අනුව, විපක්ෂ ඩිමොක්රටික් පක්ෂය කැපී පෙනෙන ඉදිරියක් ලබා ගැනීමට සමත්ව ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍යයන්ට අනුව නිල හා ප්‍රක්ෂේපිත දත්තයන්ට අනුව, මේ වන විට ඩිමොක්රටික් පක්ෂය ආසන 97ක් ජයග්‍රහණය කරමින් පෙරමුණේ පසුවන අතර, පෙර පැවති රිපබ්ලිකන් ආසන දෙකක් ඩිමොක්‍රටික්වරුන් මේ වන විටත් සිය පක්ෂය වෙත හරවා ගැනීමට සමත්ව සිටිනවා.
පාලක රිපබ්ලිකන් පක්ෂය වසර 15කට වැඩි කාලයක් අඛණ්ඩව නියෝජනය කළ උතුරු කැරොලිනා ප්‍රාන්තයේ 11 වැනි කොංග්රස් දිස්ත්‍රික්කය, 2010 න් පසු ප්‍රථම වතාවට ඩිමොක්රටික් පාක්ෂික ජෙමී ඒගර් විසින් ජයග්‍රහණය කර තිබෙනවා.
එමෙන්ම රිපබ්ලිකන් කොංග්රස් ප්රචාරක ප්‍රධානී රිචඩ් හඩ්සන් අභිබවා උතුරු කැරොලිනාවේ 9 වැනි දිස්ත්‍රික්කයේ ඩිමොක්රටික් අපේක්ෂක රිචඩ් ඔජෙඩා ඉදිරියට පැමිණ සිටිනවා.
ආසන 435කින් සමන්විත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය තහවුරු කරගැනීම සඳහා ආසන 218ක් ජයග්‍රහණය කළ යුතු වේ.
මේ වනවිට ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵල අනුව පාලක රිපබ්ලිකන් (GOP) පක්ෂයට ජයගැනීමට හැකිව ඇත්තේ ආසන 52ක් පමණි.
තවද, කොලරාඩෝ ප්‍රාන්තයේ පළමු දිස්ත්‍රික්කය ජයගත් මේලට් කිරෝස්, ඇමෙරිකානු කොංග්රස් මණ්ඩලයට තේරී පත් වූ ප්‍රථම ‘Z පරපුරේ’ (Gen Z) කාන්තාව ලෙස ඉතිහාසයට එක්ව තිබෙනවා.
නිව්යෝර්ක්, පෙන්සිල්වේනියා සහ නිව්ජර්සි යන ප්‍රාන්තවල ප්රජාතන්ත්රවාදී සමාජවාදී අපේක්ෂකයින් කිහිප දෙනෙකුම පහසු ජයග්‍රහණ වාර්තා කර ඇති අතර, රිපබ්ලිකන්වරුන් විසින් සීමා නිර්ණය වෙනස් කරන ලද ෆ්ලොරිඩාවේ ආසන කිහිපයකදීම සිය ආධිපත්‍යය රැක ගැනීමට ඩිමොක්රටික් නියෝජිතයෝ සමත්වුණා.
ඉරාන යුද ගැටුම්කාරී වාතාවරණය, ට්‍රම්ප් පරිපාලනය විසින් පැනවූ ආනයනික තීරුබදු සහ ඒ හේතුවෙන් උද්ධමනය හා ජීවන වියදම ඉහළ යාම කෙරෙහි මහජන අප්‍රසාදය දැඩි ලෙස එල්ල වී තිබෙන බව මෙම ප්රතිඵලවනින් පෙන්නුම් කෙරෙනවා.
ඡන්ද විමසීම් මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදුකළ ක්ෂණික මත විමසුම් අනුව හෙළි වී ඇත්තේ, ඡන්දදායකයන්ගෙන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකුම සිය ඡන්දය ප්‍රකාශ කිරීමේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රධාන සාධකයක් ලෙස සලකා ඇති බවයි.
ඒ වගේම ජනාධිපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතා අනුපාතිකය 38% දක්වා පහත වැටී ඇති අතර, එය මෑත ඉතිහාසයේ මධ්‍යවාර මැතිවරණයකට මුහුණ දුන් ඇමෙරිකානු ජනාධිපතිවරයකු ලැබූ අවම ජනප්‍රසාද මට්ටම් අතරට වාර්තාවෙනවා.
ඩිමොක්රටික් පක්ෂය සභාවේ බහුතරය දිනාගතහොත්, එහි සුළුතර නායක හකීම් ජෙෆ්රීස් මහතා ඇමෙරිකානු ඉතිහාසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක ධුරයට පත්වන ප්‍රථම කළුජාතික නායකයා බවට පත්වනු ඇත. වොෂින්ටන් නුවරදී මාධ්‍ය අමතමින් ජෙෆ්රීස් මහතා සඳහන් කළේ, ඩිමොක්රටික් පක්ෂය බහුතරය අත්පත් කරගැනීමේ ආසන්නයටම පැමිණ ඇති බවයි.
