ක්‍රිෂ් නඩුවට නාමල් රාජපක්ෂට ඇප

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ⁣ ඇප මත මුදා හරින බව කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (03) නියෝග කළා.

ඒ අනුව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 03ක් මත මන්ත්‍රීවරයා මුදාහැරීමට නියෝග කළ අධිකරණය ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

එමෙන් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමෙන් වළකින ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුට අවවාද කළා.

ඉන් අනතුරුව මෙම නඩුකරය ලබන 06 වනදා කැඳවන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් නියම කර සිටියා.

නාමල් රාජපක්ෂගේ මව සහ පියා දැඩි ලෙස අසනීප තත්ත්වයකින් පසුවන බැවින් එය සුවිශේෂී කරුණක් සේ සලකා ඔහු ඇප මත මුදාහරින ලෙස ඔහුගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි ඇතුළු නීතිඥවරු ඉකුත්දා අධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණා.

එහෙත් එම ඉල්ලීමට අල්ලස් කොමිසම විසින් එදින විරෝධය පළ කරනු ලැබුවා.

කෙසේ වෙතත් දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය අද ප්‍රකාශයට පත් කරමින්,
” දූෂණ විරෝධී පනතේ 149(1) වගන්තිය ප්‍රකාරව සැකකරුවකු ඇප මත මුදාහැරීම සදහා සුවිශේෂී කරුණු ඉදිරිපත් කළ යුතුයි. ඒ අනුව මෙම සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලීම සදහා ඉදිරිපත් කළ කරුණු සුවිශේෂී කරුණු ලෙස අධිකරණය පිළිගනු ලබනවා” යනුවෙන් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඒ අනුව සැකකාර නාමල් රාජපක්ෂ ඇප මත මුදාහරින ලෙසත් නියම කළා.

කෙසේ වෙතත් සැකකාර නාමල් රාජපක්ෂ ලබන 19 වනදා බන්ධනාගාරය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කර ඇති නිසා ඔහු බන්ධනාගාර නිලධාරින් විසින් යළි බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුවා.

කොළඹ , ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රයේ පිහිටි ඉඩමක් ඉන්දියානු ක්‍රිෂ් සමාගමට බහු කාර්ය ව්‍යාපෘතියක් සඳහා ලබාදීමේ කටයුතු ඉටුකරදීම සඳහා රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා ගත් බවට සැකපිට නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කර තිබුණා.