සවස්වරුවේ තද සුළං හා මුහුද රළුවීමේ අවදානමක්

අද පස්වරුවේ දිවයින පුරා තද සුළං හා උතුර හා නැගෙනහිර පළාතට ආශ්‍රිතව ඇති මුහුදේ රළුවීමක් අපේක්ෂා කළ හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

“මුරසු” (Murasu) සුළි කුණාටුව මේ වන විට ඉන්දියානු ගොඩබිමට ඇතුළුවී ඇති අතර තවදුරටත් උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයේ තවදුරටත් සඳහන් වෙනවා.

මෙම තත්වය අද දින පෙ.ව.11.30 වන විට සාමාන්‍ය ‘සුළි කුණාටුවක්’ දක්වාත්, ප.ව.11.30 වන විට ‘ගැඹුරු පීඩන අවපාතයක්’ දක්වාත් ක්‍රමයෙන් දුර්වල වනු ඇති බවටත් එම නිවේදනයේ සඳහන්වේ.

ඒ අනුව බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල සුළඟේ ‍ වේගය විටින් විට පැයට කිලෝමීටර (65-75) දක්වා වැඩි විය හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ නිසා බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදේ ගමන්කරන ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානය යොමුකර කටයුතු කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් ඉල්ලා සිටිනවා.