ගෑස් නැති බව පවසා සිලින්ඩර් 28ක් සඟවා තැබූ මහනුවර වෙළෙන්දෙකුට අධිකරණයෙන් දඩයක් පනවා තිබෙන අතර, සඟවා තැබූ ගෑස් සිලින්ඩර් සියල්ල රාජසන්තක කිරීමටත් නියෝග කර තිබෙනවා.
පාරිභෝගිකයින්ට අලෙවි කිරීම සඳහා ගෑස් සිලින්ඩර් තොගයක් තම සන්තකයේ තිබියදී ගෑස් නොමැති බව පවසා අලෙවි කිරීම ප්රතික්ෂේප කළ මහනුවර ප්රදේශයේ වෙළෙන්දෙකුට එරෙහිව පාරිභෝගික පැමිණිලි මත CAA කළ විශේෂ වැටලීමකින් සඟවා තිබූ කිලෝග්රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩර් 28ක් සොයා ගැනුණා.
එහිදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරියෙකු උපායදූතයෙකු ලෙස යොදවා කිලෝග්රෑම් 12.5ක ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට ඉල්ලා සිටි අවස්ථාවේදී, අදාළ වෙළෙන්දා විසින් තමන් සන්තකයේ ගෑස් සිලින්ඩර් නොමැති බව පවසා තිබෙනවා.
අනතුරුව විමර්ශන නිලධාරීන් විසින් එම වෙළෙඳ ස්ථානය පරීක්ෂා කිරීමේදී කිලෝග්රෑම් 12.5ක ලිට්රෝ ගෑස් සිලින්ඩර් 28ක් සොයාගැනීමට හැකිවුණා.
ඒ අනුව අදාළ ගෑස් සිලින්ඩර් තොගය නඩු භාණ්ඩ ලෙස භාරයට ගෙන, වෙළෙන්දාට එරෙහිව මහනුවර මහෙස්ත්රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවති නඩු කටයුතුවලින් අනතුරුව අදාළ වෙළෙන්දාට දඩ මුදලක් නියම කිරීමට මහනුවර මහෙස්ත්රාත් අධිකරණය කටයුතු කර ඇති අතර, වැටලීමේදී අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කළ ලිට්රෝ ගෑස් සිලින්ඩර් 28ම රාජසන්තක කිරීමටද නියෝග කර තිබෙනවා.
