නාමල්ව ලබන 16 වනදා හම්බන්තොට මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක්

හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට එරෙහි නඩුවට පෙනී සිටීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 16 වැනිදා හම්බන්තොට මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට අද (02) නියෝග කළා.

ඒ, මෙම සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ නඩුව අවසන් කරමින්.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන්ට එරෙහිව නිතිපතිවරයා විසින් මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර ඇති අතර, එම නඩුව ලබන 16 වනදා එහි කැඳවනු ලබන බවත් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා.

ඒ, අනුව මෙම සිද්ධියේ 35 වන සැකකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන අය එදිනට හම්බන්තොට මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් බන්ධනාගාරයට නියෝග නිකුත් කරනු ලැබුවා.

මෙම සිද්ධියේ සැකකරුවන් හතළිස් එක් දෙනෙක් නම් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක, හිටපු මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, ප්‍රසන්න රණවීර, පළාත් සභා හිටපු මන්ත්‍රී අජිත් ප්‍රසන්න යන අය ඇතුළු සැකකරුවන් 35 දෙනෙක් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද දිනයේ (02) පෙනී සිටියා.

එමෙන්ම, මෙහි 6,11,13,29,31, යන සැකකරුවන් පස්දෙනා අධිකරණයේ පෙනී නොසිටි බැවින් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන වරෙන්තු නිකුත් කළා.

වසර දහයකට ආසන්න කාලයක් හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුකරය කැඳවනු ලැබුවා.

යහ පාලන රජය සමයේ එනම් ඉකුත් 2017 වසරේ දී හම්බන්තොට ජාත්‍යන්තර වරාය චීන රජයට විකිණීමට එරෙහිව විපක්ෂය විසින් පැවති විරෝධතාවයේ දී පොදු දේපලට හානි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 41 දෙනෙකුට එරෙහිව හම්බන්තොට පොලිසිය මගින් හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම සිද්ධිය ගොනු කර තිබෙනවා.