අකුරැස්ස පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සේවයෙන් පහකරයි

අකුරැස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඊයේ (01) දිනයේ සිට සේවයෙන් පහකිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබෙනවා.

එසේ සේවයෙන් පහ කර ඇත්තේ උප පොලිස් පරික්ෂකවරයෙකු වන අතර, ඔහු 2019 සිට 2021 වසර දක්වා බස්නාහිර පළාත් දකුණ රථ වාහන කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී විවිධ ජාවාරම්කරුවන්ගෙන් මුදල් ලබා ගත් බවට චෝදනා එල්ල වී තිබුණා.

ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කාන්තාවන් කිහිපදෙනෙකු ඇසුරු කිරීම ඇතුළු විෂමාචාර චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඔහුට ලබාදුන් චෝදනා පත්‍රයට අදාළ විමර්ශනයේ දී සියලු චෝදනාවලට ඔහු පිළිගැනීමත් සමඟයි.

ඒ අනුව එම නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර පසුගිය අප්‍රේල් මස 14 වනදා අකුරැස්ස ප්‍රදේශයේ පැවති අවුරුදු සාදයකට සහභාගී වූ පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ පහක මුදලක් කොල්ලකෑ බවට ද ඔහුට චෝදනා එල්ල වී තිබුණා.