අත්අඩංගුවට ගත් වෙළෙ‍ඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම්ට ඇප

දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් වෙළෙ‍ඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ගාමිණි කිත්සිරි ඩයස් අමරවර්ධන ඇපමත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (02) නියෝග කළා.

පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට පුටු මිලදී ගැනීමේ දී රජයට රුපියල් 7,973,114.50ක මූල්‍ය පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගාමිණී කිත්සිරි ඩයස් අද අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගෙන තිබුණා.

මෙම අක්‍රමිකතාව හරහා බාහිර පාර්ශ්වයකට අනිසි ලෙස වාසි සැලසීම සහ ඒ හේතුවෙන් රජයට රුපියල් 7,973,114.50ක මූල්‍ය පාඩුවක් සිදුකිරීම යන චෝදනා පදනම් කරගනිමින් අල්ලස් කොමිසම විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණා.

ඉන් අනතුරුව සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා ඉදිරියේ පමුණුවනු ලැබු අවස්ථාවේදී ඔහු ඇපමත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
‍
ලක්ෂ 25 බැගින් වු ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් ද තහනම් කරමින් නියෝගයක් නිකුත්කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම වෙනුවෙන් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කර තිබෙනවා.