කාන්තාවකට අමානුෂික ලෙස පහරදී ශාරීරික මෙන්ම මානසික වශයෙන් හිරිහැර පැමිණවීම තුළින් දොම්පේ පොලිසියේ කොස්තාපල්වරයකු වන ලක්මාල් නමැත්තා විසින් ඇයගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයක් තීන්දු කළා.
ඒ වෙනුවෙන් වග උත්තරකරු විසින් සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් ලක්ෂයක වන්දියක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවක් තීන්දුවේ සඳහන් වුණා.
තිත්තපත්තර ප්‍රදේශයේ පදිංචි ජයසිංහගේ නිර්මලා කාන්ති නමැති කාන්තාවක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, සම්පත් විජේරත්න යන විනිශ්චකාරවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
නීතිඥ හිමාලි කුලරත්න මෙනෙවියගේ මාර්ගයෙන් ගොනු කර තිබූ මෙම පෙත්සම තුළින් පෙත්සම්කාරිය කියා සිටින්නේ දුප්පත්කම හේතුවෙන් අතීතයේ තමා නීති විරෝධී මත්පැන් පිරීමේ කටයුතුවල නිරත වූ බවත් ඊට අදාළව පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන්ට එරෙහිව පොලිසිය විසින් නඩු කිහිපයක් ගොනුකර තිබූ අතර ඒවාට තමන් වරදකරු වී ඇති බවයි.
කෙසේ වෙතත් එවැනි නීති විරෝධී කටයුතුවලින් තමන්ට පළක් අත් නොවන බව වටහා ගැනීමෙන් පසුව තමන් එම කටයුතුවලින් ඉවත් වූ බවත් ඉන් පසුව කිරි ගොවිතැන සහ කෘෂිකාර්මික කටයුතුවලින් ජීවනෝපාය ගත කළ බවත් ඇය සඳහන් කළා.
ඊට අමතරව ඇය විසින් කුකුළු පාලන ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර ඊට අදාල ලියාපදිංචි සහතිකයද ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එසේ තිබියදී දොම්පේ පොලිසියේ නිලධාරීන් තමන්ට වරින් වර හිරිහැර සිදු කළ බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හා ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කළ බවත් ඇය කියා සිටියා.
කෙසේ වෙතත් 2019 වසරේ ඔක්තෝබර් මස 7 වනදා පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ නීති විරෝධී ලෙස මත්පැන් පෙරූ බවට චෝදනා කරමින් සිය සැමියා අත්අඩංගුවට ගත් බවත් ඇය කියා සිටියා.
ඉන් පසුව සැමියා බැලීම සඳහා බත් පාර්සලයක් ද රැගෙන “චානක මල්ලි” නමැත්තෙකුගේ ත්‍රීරෝද රථයෙන් තමා දොම්පේ පොලීසියට ගිය අතර එහිදී වගඋත්තරකාර පොලිස් කොස්තාපල් ලක්මාල් නමැත්තා තමන්ට පහර දී මානසික වශයෙන්ද හිරිහැරයට ලක් කළ බවත් ඇය සඳහන් කළා.
ඒ තුළින් ඇතිවූ බාහිර තුවාල පිළිබඳ ඡායාරූප සහ වෛද්‍ය ලේඛන ද ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
එහෙත් පෙත්සංකාරිය ඉදිරිපත් කළ නඩුකරය වෙනුවෙන් නියමිත කාලසීමාව තුළ විරෝධතා ගොනු කිරීමට වග උත්තරකරු කටයුතු නොකළ අතර ඔහුට අදාලව නීතිමය කාරණා සම්බන්ධයෙන් පමණක් කරුණු දැක්වීමට අධිකරණය විසින් අවසර ලබාදී තිබුණා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු කියා සිටින්නේ මෙම පහරදීම සිදුවීමට පෙර සිට පොලිසිය විසින් ඇයට අඛණ්ඩව හිරිහැර කිරීම් සිදු කර තිබූ බවත් ඊට අදාළ ලේඛන ඇය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ඊට අමතරව ඇයගේ ඥාතීයෙකු වන ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක් මගින් ද තවදුරටත් තහවුරු වෙයි.
මේ තුළින් මෙම සිදුවීම ඇතිවීමට පෙරත් ඉන් පසුවත් පොලිසිය විසින් පෙත්සම්කාරිය කෙරෙහි අතිශය පීඩාකාරී සහ ආක්‍රමණශීලී ලෙස කටයුතු කළ බව තහවුරු වන බවත් තීන්දුවේ සඳහන් වෙනවා.
මෙම කරුණු විශ්ලේෂණය කිරීමේදී වග උත්තරකාර පොලිස් කොස්තාපල්වරයා විසින් පෙත්සම්කාරිය කෲර වධ හිංසාවලට ලක් කර තිබෙන ආකාරය පැහැදිලි වන බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාවෙන් සහතික කර තිබෙන කෲර වධ හිංසනයෙන් මිදී සිටීමට තිබෙන මූලික අයිතිය වග උත්තරකරු විසින් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අවසාන වශයෙන් තීන්දු කළා.
ඒ අනුව වගඋත්තරකාර පොලිස් කොස්තාපල්වරයා විසින් සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් ලක්ෂයක මුදලක් වන්දි වශයෙන් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවත් තීන්දුවේ වැඩිදුරක් සඳහන් වුණා
