වැල්ලම්පිටිය තරුණයාගේ ඝාතනයට වසරකට පසු ඇල්ලූ සිව්දෙනා ලබන 16 දක්වා රිමාන්ඩ්

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි කුලන්දෙයි ජේසු ෂෙරන් නැමැති තරුණයා පසුගිය වසරේ ඔක්තෝබර් 11 වැනිදා ඝාතනය කර සිරුර පුළුස්සා, අස්ථි කොටස් කැළණි ගඟට දැමූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් සිව්දෙනා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ, අදාළ සැකකරුවන් සිව්දෙනා අද (02) දිනයේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ අවුරුදු 29, 32, 37 සහ 46 වයස්වල පසුවන වැල්ලම්පිටිය සහ අගලවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිව්දෙනෙක්.

2025 වසරේ ඔක්තෝබර් 14 වැනිදා කුලන්දෙයි ජේසු ෂෙරන් නැමැති තරුණයා අතුරුදන්වීම සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මූලික විමර්ශන ආරම්භ කර තිබූ අතර, එහි වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකර තිබුණේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගේ උපදෙස් පරිදියි.

අදාළ විමර්ශනවලට අනුව මෙම තරුණයා 2025 ඔක්තෝබර් මස 11 වනදා පස්වරු 6.23ට පමණ සිය නිවසින් පිටත්ව සේදවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ මිතුරෙකුට අයත් බව කියන වාහන අලුත්වැඩියා කරන ස්ථානයකට ගොස් ඇති බවයි අනවරණය වී ඇත්තේ.

එහිදී මත්පැන් පානය කරමින් සිටිය දී ශාන්ත නැමැත්තා සහ මෙම තරුණයා අතර බහින්බස්වීමක් සිදුව ඇති බවයි විමර්ශන මඟින් හෙළි වී ඇත්තේ.

පසුව ජේසු ෂෙරන් තමන් ඝාතනය කිරීමට සූදානම් වන බවට ශාන්තට ආරංචියක් ලැබීමෙන් අනතුරුව ඔහු පූර්ව සැලසුමක් සකස් කර ඇති බවටද පොලීසිය සැක පළ කරනවා.

එදින රාත්‍රී 12ට පමණ ජේසු ෂෙරන් සිය වැඩිමල් සහෝදරියට දුරකථන ඇමතුමක් ලබාදී තමන් උදේට පැමිණෙන බව පවසා ඇති බවයි අනවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත්, මධ්‍යම රාත්‍රියෙන් පසු එම තරුණයාගේ දුරකථනය විසන්ධි වී ඇති අතර, ඉන් අනතුරුව ඔහු අතුරුදන්ව තිබෙනවා.

ඒ, අනුව 2025 වසරේ ඔක්තෝබර් 11 වනදා ඇති වූ සිද්ධියකින් පසු ඔහුව ඝාතනය කර ඇති බවට සැක කෙරෙන අතර, පසුව සිරුර කිරිඳිවැල ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් පුළුස්සා දමා ඇති බවට සැකකරුවන් විසින් පපොච්ච්රණය කර තිබෙනවා.

අනතුරව පිළිස්සුනු මළ සිරුරේ කොටස් කොස්ගම පොලිස් බල ප්‍රදේශයට අයත් ඇස්වත්ත පාලම මතින් කැළණි ගඟට දමා ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශ නිලධරීන් අනාවරණය කරගෙන තිබෙනවා.

මේ අතර අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පැපිලියවල ප්‍රදේශයේ කළ ස්ථානීය පරීක්ෂණයකදී අස්ථි කොටස් ඇතුළු නඩු භාණ්ඩ කිහිපයක් සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

එමෙන්ම ඇස්වත්ත පාලම අසලින් කැළණි ගඟට දැමු බව කියන මළ සිරුරේ කොටස් සොයා ඊයේ දිනයේ නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් මෙහෙයුම් සිදුකළා.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.