මහජනතාව විසින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරි හෝ වෙනත් ක්රියාකාරකම් හෝ වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැති බව පොලිස්පති ප්රියන්ත වීරසූරිය පවසනවා.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ, පොලිස් නිලධරයන් විසින් සිදු කරන රාජකාරි මෙන්ම නිලධරයන්ගේ ක්රියාකාරකම් ද, මහජනතාව විසින් වීඩියෝගත කරන අවස්ථා වර්තමානයේ බහුල ව නිරීක්ෂණය වන බවයි.
මෙලෙස වීඩියෝගත කරන අවස්ථා වලදී ඇතැම් පොලිස් නිලධරයන් එම පුද්ගලයන්ට දෝෂාරෝපණය කිරීම්, වීඩියෝ ගත කරන ජංගම දුරකථන ආදිය පොලිස් භාරයට ගැනීම් සහ ඇතැම් අවස්ථාවලදී එලෙස වීඩියෝගත කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් පවා සිදු කර ඇති බවට වාර්තා වී ඇති බවයි පොලිස්පතිවරයා විසින් නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වන්නේ.
ඇතැම් පොලිස් නිලධරයන් ඉහත පරිදි ක්රියා කරන අවස්ථා බොහොමයක දී, එම නිලධරයන්ගේ නීති විරෝධී, විනය විරෝධී හෝ සදාචාර විරෝධි ක්රියාවන් එකී පුද්ගලයන් විසින් වීඩියෝගත කර ඇති බව වැඩිදුරටත් නිරීක්ෂණයට ලක් වී ඇති බව පොලිස්පතිවරයා පවසනවා.
මෙලෙස මහජනතාව විසින් පොලිස් නිලධරයන්ගේ රාජකාරි හෝ වෙනත් ක්රියාකාරකම් හෝ වීඩියෝගත කිරීම කිසිදු නීතියකින් වළක්වා නොමැති සිය නිලධාරීන් වෙත පොලිස්පතිවරයා දැනුම් දෙනවා.
තවද, යම් වරදක් වීඩියෝගත කරන ලද අවස්ථාවක දී එම සංස්කරණය නොකල වීඩියෝ රෙකෝඩනය (ශ්රව්ය දෘශ්ය රෙකෝඩනය) සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීම සඳහා නෛතික ප්රතිපාදන 1995 අංක 14 දරන සාක්ෂි (විශේෂ විධිවිධාන) පනතෙහි 4 වන වගන්තියට ඇතුලත් ව ඇති අතර, එම නෛතික ප්රතිපාදන අපරාධ හෝ සිවිල් නඩුවක පැමිණිලි පාර්ශවය මෙන්ම විත්ති පාර්ශවය විසින් ද ප්රයෝජනයට ගත හැකි බවද එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම, පොලිස් නිලධරයෙකු සිදු කරන විනය විරෝධී හෝ සදාචාර විරෝධී ක්රියාවන් මහජනතාව විසින් වීඩියෝගත කිරීම මඟින් එම පොලිස් නිලධරයන් සම්බන්ධයෙන් විනයානුකූලව ක්රියා කිරීමට හැකියාව ලැබෙන අතර, එවැනි විනය විරෝධී හෝ සදාචාර විරෝධී ක්රියාකාරකම් නිවැරදි කර ගැනීමට ද එය අවස්ථාවක් වන බව පොලිස්පතිවරයා විසින් පෙන්වා දී තිබෙනවා.
එබැවින්, පොලිස් නිලධරයන්ගේ රාජකාරි හෝ වෙනත් ක්රියාකාරකම් මහජනතාව විසින් වීඩියෝගත කිරීම වැළැක්වීමට පියවර නොගත යුතු බව සිය නිලධාරීන් වෙත පොලිපතිවරයා දැනුම් දෙනවා.
කරුණු එසේ වුවද, පොලිස් නිලධරයන්ගේ රාජකාරි හෝ වෙනත් ක්රියාකාරකම් වීඩියෝගත කිරීමෙන් අනතුරුව එම වීඩියෝපට සංස්කරණය කර, ශ්රී ලංකා පොලිසිය කෙරෙහි මහජනතාව වෙත ස්වෛරී හැඟීම් ඇති වන ආකාරයෙන් එම සංස්කරණය කරන ලද වීඩියෝ දර්ශන සමාජ මාධ්ය ජාලා වෙත මුදා හැරීමක් සිදු වුව හොත්, එවැනි තැනැත්තන් විෂයෙහි නෛතික පියවර ගැනීමට මෙම උපදෙස් පණිවිඩය මඟින් බාධාවක් නොවන බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
